1. මාතුපෝසක චරියා වර්ණනාව
(චරියා පිටකයෙහි) දෙවන වර්‍ගයෙහි පළමුවන (මාතුපොසක) චරිතයෙහි,
148. “යදා අහොසිං පවනෙ කුඤ්ජරො මාතුපොසකො
න තදා අත්‍ථි මහියා ගුණෙන මම සාදිසො”
149. “පවනෙ දිස්වා වනචරො රඤ්ඤෙ මං පටිවෙදයී
තවානුච්ඡ වො මහාරාජ ගජො වසති කානනෙ”
150. “න තස්ස පරිඛායත්‍ථො නපි ආළ්හක කාසුය
සමං ගහිතෙ සොණ්ඩා ය, සයමෙව ඉධෙහී ති” (චරියා පිටක)
“යම් කලෙක මම මහවනයෙහි මව පෝෂණය කරන්නා වූ ඇතෙක් වීම්ද, එකල්හි ශීල ගුණයෙන් මා හා සමානයෙක් පොළොවෙහි නැත්තේය.
වනයෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් මහ වනයේදී මා දැක “මහ රජුනි, නුඹවහන්සේට සුදුසු ඇතෙක් වනයෙහි වෙසේය”යි රජුහට දැන්වූයේය.
ඔහු පිණිස අඟලකින් හෝ ටැඹකින් හෝ වළකින් හෝ වැඩක් නැත. සොඬින් ඇල්ලූ වහාම තෙම්ම මෙහි එන්නේ යයි (රජුට දැන්වීය)”යි
මෙහි “කුඤ්ජරො” යනු ඇතෙක්, “මාතුපොසකො” යනු අන්‍ධ වූ ජරා ජීර්‍ණ වූ මව පෝෂණය කරන්නා වූ, “මහියා” යනු භූමියෙහි, “ගුණෙන” යනු ශීල ගුණයෙන්, එකල්හි මට සමාන වූවෙක් නැත.`
බෝධිසත්ත්‍වයෝ වනාහි හිමවත් පෙදෙසෙහි ඇත් යෝනියෙහි උපන්හ. ඔහු වනාහි සම්පූර්‍ණයෙන් සුදු වූ, ඉතාමත් රූමත් වූ, ඇත් ලකුණෙන් සමන්විත වූ, නොයෙක් ලක්‍ෂ ගණන් ඇතුන් විසින් පිරිවරණ ලද මහ ඇතෙක් විය. ඔහුගේ මව අන්‍ධය. හෙතෙම මිහිරි ඵලාඵල ඇතුන් අත යවා මව පෝෂණය කරයි. ඇත්තු (ඒවා) ඇයට නොදී තුමූම කති. ඔහු පරීක්‍ෂා කර බලන්නේ එපවත් දැන “සමූහයා හැරපියා මවම පෝෂණය කරන්නෙමි’යි රාත්‍රී කාලයෙහි සෙසු ඇතුන් නොදනිද්දී මව රැගෙන ‘චණ්ඩෝරණ’ නම් පර්‍වත පාදයට ගොස් එක් විලක් ඇසුරු කොට පැවති පර්‍වත ගුහාවක මව තබා පෝෂණය කළේය.
“පවනෙ දිස්වා වනචරො” යනු වනයේ හැසිරෙන එක් පුරුෂයෙක් ඒ මහ වනයෙහි මා දැක, “රඤ්ඤෙ මං පටිවෙදයී” යනු බරණැස් රජුට මා ගැන දැන්වීය.
ඔහු වනාහි මංමුළා වී, දිසා නියමකර ගැනීමට නොහැකිවන්නේ මහත් හඬින් හැඬීය. බෝධිසත්ත්‍වයෝ ද ඔහුගේ හඬ අසා “මේ පුරුෂයා අනාථය, මා සිටියදී මොහු මෙහි මිය යන්නේ නම් එය මට සුදුසු නොවේ”යි ඔහු සමීපයට ගොස් බියෙන් පලායන ඔහු දැක “එම්බා පුරුෂය! නුඹට මා නිසා බියෙක් නැත. පලා නොයව, කුමක් හෙයින් නුඹ හඬමින් හැසිරෙන්නෙහිදැයි අසා “ස්වාමීනි මම මංමුළා වූවෙක්මි. මංමුළා වූ මට අදට දින හතකි’ යි කී කල්හි “පින්වත් පුරුෂය! බිය නො වන්න. මම නුඹ මිනිස් පියසෙහිම පිහිටුවන්නෙමි’යි ඔහු තමාගේ පිටෙහි හිඳුවාගෙන වනයෙන් බැහැරට ගෙන ගොස් නැවතුනහ. ඒ පාපී පුරුෂයා ද නගරයට ගොස් රජුට දැනුම් දෙන්නෙමි”යි වෘක්‍ෂයන් හා පර්‍වත සලකුණු කරමින් නික්ම බරණැසට ගියේය. ඒ කාලයෙහි රජුගේ මඟුලැතා මළේය. ඒ පුරුෂයා රජු වෙත එළඹ තමන් මහාපුරුෂයා (හස්ති රාජයා) දුටු බව දැන්වීය. එහෙයින් “තවනුච්ඡවො මහාරාජ ගජො වසති කානනෙ” යනාදිය කියන ලදී.
එහි “තවනුච්ඡවො” යනු නුඹවහන්සේ නැගී යාමට සුදුසු, යුතුවූ, “න තස්ස පරික්‍ඛායත්‍ථො” යනු ඌ අල්ලා ගැනීමේදි ගමන නැවැත්වීම සඳහා හාත්පසින් සෑරිය යුතු දිය අඟලකින් හෝ ඇතින්නියකගේ කන්තලයෙන් තමා වසාගෙන දමන ලද මදුරැහැණ බැඳිය යුතු ‘ආලක’ සඞ්ඛ්‍යාත කණුවකින් හෝ යම් තැනකට පිවිසි විට කිසිවෙකුටත් යාමට නොහැකිවේද එබඳු බොරු වළකින් හෝ අර්‍ථයක් ප්‍රයෝජනයක් නැත. “සහ ගහිතෙ” යනු අල්ලාගත් වහාම, “එහිති” යනු එන්නේ යයි.
රජතුමා මොහු මාර්ගෝපදේශකයා කොට වනයට ගොස් මොහු විසින් කියන ලද ඇත් රජුන් ගෙන එවයි” පිරිවර සහිතව ඇත් ඇඳුරෙකු යැවීය. ඔහු ඒ පුරුෂයා සමග ගොස් විලට පිවිස ගොදුරු ගන්නා බෝධිසත්ත්‍වයන් දීටීය. එහෙයින්,
151. තස්ස තං වචනං සුත්‍වා රාජාපි තුට්ඨමානසො
පෙසෙසි හත්‍ථි දමකං ඡෙකාචරියං සුසික්‍ඛිතං
152. “ගනත්‍වා සො හත්‍ථිදමකො අද්දස පදුමස්සරෙ
භිස මුලං උද්ධරන්තං යාපනත්‍ථාය මාතුයා”
153. “විඤ්ඤාය මෙ සීලගුණං ලක්‍ඛණං උපධාරයී
එහි පුත්තාති වත්‍වාන මම සොණ්ඩාය අග්ගහීති.” (චරියා පිටක)
“ඔහුගේ ඒ වචනය අසා රජතෙමේ ද සතුටු සිත් ඇතිව මනාසේ පුරුදු වූ, ඇතුන් දමනය කරන්නා වූ, දක්‍ෂ හස්තාචාර්‍ය්‍යයකු යැවීය. ඒ ඇතුන් දමනය කරන්නා ගොස් මවගේ යැපීම පිණිස පියුම් විලෙහි නෙළුම් අල හා නෙළුම් දැලි උදුරන්නා වූ (මා) දුටුවේය.
මාගේ ශීලගුණය දැන මාගේ ලක්‍ෂණ පරීක්‍ෂා කොට බැලුවේය. (නැවත) “දරුව මෙහි එව”යි කියා මාගේ සොඬින් අල්ලා ගත්තේ යයි වදාරණ ලදී.
එහි “ඡෙකාචරියං” යනු ඇතුන් බැඳීම් ආදී ක්‍රමයෙහි දක්‍ෂ වූ හස්ත්‍යාචාර්‍ය්‍යයකු, “සුසික්‍ඛිතං” යනු ඇතුන් හික්මවන විද්‍යාවෙහි පරතෙරට පැමිණිමෙන් සුශික්‍ෂිත වූ,
“විඤ්ඤාය මෙ සීලගුණං” යනු යහපත් වූ ශ්‍රේෂ්ඨ ඇතා අඥාන නො වේ. චණ්ඩද නොවේ. මිශ්‍ර වූ සිල් ඇත්තෙක් ද නොවේ යයි මගේ ශීල ගුණය දැන, කෙසේ ද? “ලක්‍ඛණං උපධාරයී” යනු මැනවින් පුරුදු කළ හස්ති ශිල්ප ඇති බැවින් මාගේ ලක්‍ෂණ හාත්පසින් සලකා බැලීය, එහෙයින් ඔහු “එහි පුත්තාති වත්‍වාන මම සොණ්ඩාය අග්ගහි” (දරුව එවයි කියා මගේ සොඬින් අල්ලා ගත්තේය)
බෝධිසත්ත්‍වයෝ හස්තාචාර්‍ය්‍යයා දැක මට මේ බිය මේ පුරුෂයා සමීපයෙන් උපන්නේය. මම වනාහි ඇතුන් දහසක් වුවද විනාශ කිරීමට සමත් මහත් බල ඇතෙක්මි. කෝප ගෙන සේනාවාහන සහිත රට පවා නැසීමට හැක්කෙමි. ඉදින් කිපෙන්නේ නම් මාගේ ශීලය බිඳෙන්නේය. එහෙයින් ආයුධවලින් කොටන්නේ නමුදු නොකිපෙන්නෙමි”යි සිත අදිටන් කොට ගෙන හිස නමාගෙන නිශ්චලව සිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “යං මෙ තදා පාකතිකං සරීරානුගතං බලං” යනාදිය වදාළහ.
154. “යං මෙ තදා පාකතිකං සරීරානුගතං බලං
අජ්ජ නාගසහස්සානං බලෙන සමසාදිසං”
155. “යදිහං තෙසං පකුප්පෙය්‍යං උපෙතං ගහණාය මං
පටිබලො භවෙ තෙසං යාව රජ්ජම්පි මානුසං”
156. “අපිචාහං සීලරක්‍ඛාය සීලපාරමී පූරිය
න කරොමි චිත්තෙ අඤ්ඤථත්තං පක්‍ඛිපන්තං මමාළ්හකෙ”
157 “යදි තෙ මං තත්‍ථ කොට්ටෙය්‍යුං ඵරසුහි තොමරෙහිව
නෙව තෙසං පකුප්පෙය්‍යං සීලඛණ්ඩභයා මමා ති.” (චරියා පිටක)
“එකල්හි මාගේ ස්වාභාවික වූ ශරීරය අනුව පවත්නා වූ යම් බලයක් වීද (ඒ බලය) මේ කාලයේ දහස් ගණන් ඇතුන්ගේ ශක්තිය හා සමානය. මා අල්ලා ගැනීමට පැමිණියා වූ ඔවුන්ට මම ඉදින් කිපුනෙම් නම් ඔවුන්ද ඒ මිනිසුන්ගේ රාජ්‍යයද (වැනසීමට තරම්) ශක්ති ඇත්තේ වීමි.
එතකුදු වුවත් මම සිල් රැකීමෙන් සීල පාරමිතාව සම්පූර්‍ණ කිරීම සඳහා ටැඹෙහි බඳින විටද සිතෙහි වෙනස්කමක් නොකෙළෙමි. ඉදින් ඔවුහු පොරෝවලින්ද තෝමරකටුවලින් ද මට කොටන්නාහු නමුදු මාගේ සිල් කඩවේය යන බියෙන් ඔවුන්ට නොකිපෙන්නෙමි’යි (ඉටා ගතිමි)
එහි “පාකතිකං” යනු ස්වභාවිකව වූ, “සරීරානුගතං” යනු ශරීරයම අනුව ගිය කාය බලය, උපායකුශලතා සඞ්ඛ්‍යාත ඥානානුගත බලය නොවේ යන අදහසයි. “අජ්ජනාග සහස්සානං” යනු අද කාලයේ නොයෙක් ආකාරයේ ඇතුන් දහසකගේ එකතුවක, “බලෙනසමසාදිසං” යනු ඔවුන්ගේ ශරීර බලය හා සමසම වී, සමානව, එකල්හි බෝධිසත්ත්‍වයෝ මඞ්ගල හස්ති කුලයේ උපමා මාත්‍රයකින් උපන්නේ නොවෙයි.