9. වෙස්සන්තර චරියා වර්ණනාව
67. “යාමෙ අහොසි ජනිකා ඵුසතී නාම ඛත්තියා
සා අතීතාසු ජාතීසු සක්කස්ස මහෙසිපියා” (චරියා පිටක)
සා අතීතාසු ජාතීසු සක්කස්ස මහෙසිපියා” (චරියා පිටක)
මාගේ මව වූ ඵුසතී නම් ක්ෂත්රියාවක් වී ද ඕතොමෝ අතීත ජාතීන්හි සක් දෙව් රජුගේ ද මෙහෙසිය වූවාය.
නවවෙනි (වෙස්සන්තර චරිතයෙහි) “යා මෙ අහොසි ජනිකා” යන මෙහි “මෙ” යන්නෙන් වෙස්සන්තර නම් වූ තමන්වහන්සේ සඳහා ශාස්තෲන් වහන්සේ දේශනා කරති. එහෙයින් කියන ලදි. “ඵුසතීනාම ඛත්තියා” යනු එකල්හි බෝසතුන්ගේ මව “ඵුසතී” නම් ක්ෂත්රියාවක් වූවාය. “සා අතීතාසු ජාතිසු” යනු ඇය එයින් අනතුරු අතීත ජාතීන්හි. මෙය ඒක වචනාර්ථයෙහි වුවත් බහු වචනයකි. “සක්කස්ස මහෙසියා” ශක්රයාගේ “මෙහෙසිය වූවා” යයි සම්බන්ධ වේ. නැතහොත් මේ අන්තිම ආත්මභාවයෙහි (මහාමායා නම් වූ) යම් තැනැත්තියක් මාගේ මව වූවා ද ඇය අතීත ජාතීන් අතුරෙන් එක් අතීත ජාතියක ඵුසතී නම් ක්ෂත්රියාවක් වූවාය. එහිදී මම ඇගේ කුසෙහි වෙස්සන්තර නමින් උපන්මි. ඇය මීට අනතුරු අතීත ජාතියෙහි ශක්රයාගේ මෙහෙසිය ද වූවාය. එහි මේ අනු පිළිවෙළ කථාවයි.
මෙයින් අනූ එක්වන කල්පයෙහි විපස්සී නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ බන්ධුමතී නුවර ඇසුරු කොට ඛේම නම් මිගදායෙහි වැඩ වසන කල්හි බන්ධුමතී රජ කිසියම් රජෙකු විසින් එවන ලද ඉතා වටිනා සඳුන් අරටුවක් තමාගේ දෙටු දියණියට දුන්නේය. එයින් සියුම් ලෙස සඳුන් කුඩු කරවා කරඬුවක් පුරවා විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සඳුන් කුඩු ගඳකිළියෙහි විසුරුවා “ස්වාමීනි, අනාගතයෙහි නුඹ වහන්සේ වැනි බුදුකෙනෙකුට මව වන්නෙමි”යි ප්රාර්ථනා කළාය. ඇය එයින් චුතව ඒ සඳුන් කුඩු පූජාවේ විපාක වශයෙන් රත් හඳුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතර ද මිනිසුන් අතර ද සැරිසරන්නේ තව්තිසා භවනයෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී උපන්නීය. ඉක්බිති ඇයගේ ආයු කෙළවර පෙරනිමිති පහළ වූ කල්හි සක්දෙව් රජු ඇයගේ ආයුෂ ක්ෂය වී ඇති බව දැන ඇයට අනුකම්පා පිණිස “සොඳුර එුසතිය, නුඹට වර දහයක් දෙමි. ඒවා ගනුව”යි කීවේය. එහෙයින්,
68. “තස්සා ආයුක්ඛ යං ඤත්වා දෙවින්දො එතදබ්රවී
දදාමි තෙ දසවරෙ වර භද්දෙ යදිච්ඡාසි
දදාමි තෙ දසවරෙ වර භද්දෙ යදිච්ඡාසි
69. එවං වුත්තා ච සා දෙවි සක්කං පුනිදමබ්රැවී
කින්නුමෙ අපරාධත්ථි කින්නු දෙස්සා අහං තව
රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං
කින්නුමෙ අපරාධත්ථි කින්නු දෙස්සා අහං තව
රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං
70. එවං වුත්තො ච සො සක්කො පුන තස්සි දමබ්රවී
න චෙව තෙ කතං පාපං න ච මෙ ත්වමසි අප්පි යා” (චරියා පිටක)
න චෙව තෙ කතං පාපං න ච මෙ ත්වමසි අප්පි යා” (චරියා පිටක)
“ශක්ර දේවේන්ද්ර තෙම ඇයගේ ආයු ක්ෂය වීම දැන “සොඳුරු තිට වර දහයක් දෙමි. යමක් කී කැමැත්තෙහි ද ඒ ගනුවයි කීවේය.
මෙසේ (ශක්රයා විසින්) කියන ලද්දා වූ ඒ දේවි තොමෝ ද නැවත සක්දෙවිඳු හට “කිම මාගේ අපරාධයක් (වරදක්) ඇත්තේ ද? කුමන කරුණකින් මම නුඹ වහන්සේට අප්රිය වේද ගසක් හෙළන්නා වූ මාරුතයක් මෙන් සිත්කලු වූ මෙතනින් මා පහ කරන්නෙහිදැයි මේ වචනය කීවාය.
මෙසේ (ඇය විසින්) කියන ලද ඒ සක්දෙව් රජ තෙමේ ද නැවත මෙහෙසියට “තී විසින් වරදක් ද නොකරන ලද්දේමය. තී මට අප්රිය ද නොවෙහි”යි යනුවෙන් කියන ලදී.
එහි “වර “ යනු වරය ගනුව, “භද්දෙ” එුසතිය “යං ඉච්ඡසි” ඒ වරය කොටස් දහයකින් යුක්තය. යමක් ඔබට ප්රියවේද එය ගනුවයි කියයි.
“පුනිදමබ්රවී” යනු නැවත ඈ තමාගේ චුත වීම නො දන්නී “කින්නු මෙ අපරාධත්ථි” (කිමෙක්ද මාගේ අපරාධයක් ඇත්තේ ද?) යනාදිය කීවාය. ඇය වනාහි පමා වූවා තමාගේ ආයුෂ අවසන් බව නොදන්නී “වරයක් ගනුව”යි මෙතෙම කියන්නේ “කිසියම් තැනක මගේ ඉපදීම කැමැත්තේ යයි දැන මෙසේ කීවාය. එහි “අපරාධත්ථි” යනු අපරාධයක් (වරදක්) ඇත. “කින්නු දෙස්සා අහං තව” යනු කුමන කරුණක් නිසා මම නුඹට අප්රිය වෙම්ද කිපිය යුතුවෙම්ද අප්රිය බවක් හටගත්තෙම්ද? “රම්මා චාවෙසි මං ඨානා” යනු රමණීය මේ ස්ථානයෙන් පහකරන්නෙහි, “වාතොව ධරණීරුහං” යනු යම් බලවත් සුළඟකින් ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මේ දිව්යලෝකයෙන් පහකරනු කැමැත්තෙහි, එයට කරුණ කිමෙක්දැයි ඔහුගෙන් විමසයි.
“තස්සිදං” යනු ‘තස්සා ඉදං’ (ඇයට මෙය), “නචෙව තෙ කතං පාපං” යනු යමක් කරණ කොට ගෙන නුඹට වරදක් වන්නේ ද නුඹ විසින් කළ එබඳු කිසිම පාපයක් නැත්තේමය, “න ච මෙ ත්වංසි අප්පියා” යනු මට නුඹ අප්රිය ද නොවේමය. කවර වරදකින් නම් මට අප්රිය වන්නේ ද යන අදහසයි.
දැන් යම් අදහසකින් වරයන් දෙනු කැමැත්තේ ද එය දක්වන්නේ, “එත්තකං යෙව තෙ ආයුං චවනකාලො භවිස්සති” (තිගේ ආයුෂ මෙපමණය. චුතවන කාලය එළඹ සිටියේය)යි කියා වරයන් ගන්වන්නේ “පටිගණ්හ මයා දින්නෙ වරෙ දස වරුත්තමෙ” (මා විසින් දෙන ලද උතුම් වර දහය පිළිගනුව)යි කීවේය.