8. සිවිරාජ චරියා වර්ණනාව
51. “අරිට්ඨ ස්වහයෙ නගරෙ සිවි නාමාසිං ඛන්ති යො
නිසජ්ජ පාසාද වරෙ එවං චිත්තෙසහං තදා” (චරියා පිටක)
“යම් කලෙක අරිට්ඨ නම් නගරයෙහි සිවි නම් රජෙක් වූයෙම් ද එකල්හි මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතුවෙමි”
අටවෙනි (සිවිරාජ චරිතයෙහි) “අරිට්ඨස්වහයෙ නගරෙ” යනු අරිට්ඨපුර නම් නගරයෙහි, “සිවිනාමාසිං ඛත්තියො” යනු ගෝත්‍ර වශයෙන් “සිවි” යයි නම් ඇති රජෙක් වීමි,
අතීතයෙහි සිවිරටේ අරිට්ඨ පුර නගරයෙහි සිවිරජු රාජ්‍යය කරන කල්හි මහාසත්ත්‍වයන් වහන්සේ ඔහුගේ පුතා වී උපන්හ. ඔහුට “සිවිකුමාර” යයි නම් කළහ. ඔහු වැඩිවියට පත් වූයේ තක්‍ෂලාවට ගොස් ඉගෙනගත් ශිල්ප ඇත්තේ පැමිණ පියාට ශිල්ප දක්වා යුවරජකම ලැබ පසුකාලයක පියාගේ ඇවෑමෙන් රජ වී අගතියට යාම හැර දශරාජ ධර්‍මයන් වෙනස් නොකොට රාජ්‍යය කරවන්නේ නගරයෙහි දොරටු සතරෙහි ද නගරය මැද ද නිවසේ දොරටුවෙහි ද දානශාලා හයක් කරවා දිනපතා හය ලක්‍ෂයක් පරිත්‍යාග කිරීමෙන් මහදන් පැවැත්වීය. අටවක, තුදුස්වක, පසළොස්වක දිනයන්හි තමන්ම දානශාලාවලට ගොස් දානශාලා බලයි.
හෙතෙම එක් පුණු පොහෝ දිනයක උදෑසනම නගන ලද සෙස්සත් ඇති රාජාසනයෙහි හුන්නේ තමා විසින් දුන් දානයන් සිහිකරන්නේ “තමා විසින් නුදුන් බාහිර වස්තුවක් නම් නැති බව දැක ආධ්‍යාත්මික දානය මෙන් බාහිර දානය මාගේ සිත සතුටු නො කරයි. අහෝ, මා දානශාලාවට ගිය කල්හි කිසියම් යාචකයෙක් බාහිර වස්තු නොඉල්වා ආධ්‍යාත්මික වස්තුවක් ඉල්ලන්නේ නම්, ඉදින් මාගේ ශරීර මාංසයක් හෝ සියලු ආත්ම භාවයම දාස භාවයෙන් හෝ ඉල්ලන්නේ නම් මම ඒ ඒ දෙයම ඔහුගේ අදහස සම්පූර්‍ණ කරමින් දීමට හැක්කෙමි”යි සිතීය. පාලියෙහි වනාහි හුදෙක් ඇස් දන් දෙන්නට සිතු බව සඳහන් වේ. එහෙයින්,
“නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙ සහං තදා
52. යං කිඤ්චි මානුසංදානං අදින්නං මෙ නවිජ්ජති
යොපි යාචෙය්‍ය මං චක්‍ඛුං, දදෙය්‍යං අවිකම්පිතො” (චරියා පිටක)
“එකල්හි මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතුවෙමි. මා විසින් නොදෙන ලද, මනුෂ්‍යයන් විසින් දිය යුතු වූ දානයක් නැත්තේය. යමෙක් මගෙන් ඇස් නමුදු ඉල්ලන්නේ නම් නිශ්චල සිත් ඇතිව දෙන්නෙමි”යි කියන ලදී.
එහි “මානුසං දානං” යනු ප්‍රකෘති මිනිසුන් විසින් දියයුතු ආහාර පානාදී දානයයි. මෙසේ බෝධිසත්ත්‍වයන්ට උදාර දානාධ්‍යාශය උපන් කල්හි ශක්‍රයාගේ පඬුපුල් අස්න උණුබවක් දැක්වීය. හෙතෙම එයට හේතුව සිහි කරන්නේ බෝසතුන්ගේ අදහස දැක “සිවිරජ අද පැමිණි යාචකයෝ ඇස් ඉල්ලත් ද ඔවුන්ට ඇස් උපුටා දෙන්නෙමි”යි සිතීය’යි ශක්‍රයා දේව පිරිසට කියා ඔහු එය දීමට හැකිවන්නේ ද නොවන්නේ ද? පළමුකොට ඔහු විමසන්නෙමි”යි බෝධිසත්ත්‍වයන් වහන්සේ සුවඳ පැන් සොළොස් කළයක් නා සියලු අලංකාරයෙන් සැරසී අලංකාර කළ උතුම් මඟුලැතු පිට නැගී දානශාලාවට යන කල්හි ජරාජීර්‍ණ වූ අන්‍ධ බ්‍රාහ්මණයෙකු මෙන් වී එතුමන්ගේ නෙත ගැටෙන ලෙස එක් උස් ස්ථානයක අත් දෙක දිගුකොට රජුට ජය පතා සිටියේ, බෝධිසත්ත්‍වයන් වහන්සේ විසින් ඔහු ඉදිරියට ඇතු මෙහෙයවා “බ්‍රාහ්මණය කුමක් කැමති වන්නෙහිදැ”යි අසන ලද්දේ - නුඹ වහන්සේගේ දානාධ්‍යාශය නිසා හටගත් කීර්ති ඝෝෂයෙන් සියලු ලෝකය අතුරු සිදුරු නැතිව පැතිරී ගියේය. මමද අන්‍ධයෙක්මි. එහෙයින් ඔබගෙන් ඉල්ලමි”යි උපචාර වශයෙන් එක් ඇසක් ඉල්ලීය. එහෙයින්,
53 “මමසඞ්ඛප්පමඤ්ඤාය සක්කො දෙවානමිස්සරො
නිසින්නො දෙව පරිසාය ඉදං වචනමබ්‍රවි
54. නිසජ්ජපාසාදවරෙ සිවිරාජා මහිද්ධිකො
චින්තෙන්තො විවිධං දානං අදෙය්‍යං සො නපස්සති.
55. තථන්නු විත්‍ථන්නෙතං හන්‍ද විමංසයාමි තං
මුහුත්තං ආගමෙය්‍යාථ යාව ජානාමි තං මනං
56. පවෙධමානො පලිතසිරො වලිතගත්තො ජරාතුරො
අන්‍ධවණ්ණොව හුත්‍වාන රාජානං උපසඞ්කමි