7. චන්‍දකුමාර චරියා වර්ණනාව
45. “පුනාපරං යදා හොමි එකරාජස්ස අත්‍රජො
නගරෙ පුප්ඵවතියා කුමාරො චන්‍දස්වහයො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක පුප්ඵවතී නුවර ඒකරාජ නම් රජුගේ ඖරස පුත්‍ර වූ ‘චන්‍ද’ නම් කුමාරයෙක් වීම්ද”
සත්වෙනි (චන්‍දරාජ චරිතයෙහි) “එකරාජස්ස අත්‍රජො” යනු ඒකරාජ නම් වූ කසී රජුගේ ඖරස පුත්‍රයා, “නගරෙ පුප්ඵවතියා,” යනු ‘පුප්ඵවති’ නම් වූ නගරයෙහි, “චන්‍දස්වහයො” යනු “චන්‍ද” ශබ්දයෙන් කැඳවිය යුතු, ‘චන්‍ද’ නම් වූ යන අර්‍ථයයි.
අතීතයෙහි වනාහි මේ බරණැස් නුවර පුප්ඵවතී නම් විය. එහි වසවත්ති නම් වූ රජුගේ පුතා ඒකරාජ නම් වූයේ රාජ්‍යය කරවීය. බෝධිසත්ත්‍වයන් වහන්සේ ඒ රජුගේ ගෝතමී නම් අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඔහුට “චන්‍දකුමාර” යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කාලයෙහි තවත් පුතෙක් උපන්නේය. ඔහුට ‘සුරිය කුමාර’ යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කල එක් දියණියක උපන්නීය. ඇයට “සේලා” තිස්සා යයි නම් කළහ. ඔවුන්ට වෙනත් මවකගේ දරුවන් වූ භද්දසේන, සූරය යයි සහෝදරයෝ දෙදෙනෙක් ද වූහ. බෝධිසත්ත්‍වයන් වහන්සේ අනුක්‍රමයෙන් වියට පැමිණියාහු ශිල්පයන්හි ද විද්‍යාස්ථානයන්හි ද පරතෙරට ගියහ. රජතුමා ඔහුට සුදුසු වූ චන්‍දා නම් රාජ දියණියක් ගෙනවුත් යුවරජ තනතුර දුන්නේය. බෝධිසත්ත්‍වයන් වහන්සේට එක් පුතෙක් උපන්නේය. ඔහුට ‘වාසුල’ යයි නම් කළහ. ඒ රජුට වනාහි “ඛණ්ඩහාළ” නම් පුරෝහිතයෙක් විය. රජතුමා ඔහු විනිශ්චය තනතුරෙහි තැබීය. ඔහු අල්ලස ධනය කොට ඇත්තෙක් වී අල්ලස් ගෙන අහිමියන් හිමියන් කරයි. හිමියන් අහිමියන් කරයි. ඉක්බිති එක් දිනක් යුක්තියෙන් පැරදුනු එක් පුරුෂයෙක් අධිකරණ ශාලාවෙහිදී නුගුණ කියමින් නික්ම රාජ සේවයට යන බෝධිසත්ත්‍වයන් දැක එතුමන්ගේ පාළඟ වැටී “ස්වාමීනි, ඛණ්ඩහාල අධිකරණයේදී කොල්ලකයි. ඔහු විසින් අල්ලස් ගෙන මම පරාජයට පත්කරන ලදිමි”යි බැගෑපත් හඬ නැගීය. බෝධිසත්ත්‍වයන් වහන්සේ භය නොවෙවයි ඔහු අස්වසා අධිකරණ ශාලාවට පමුණුවා හිමියාම හිමි කළහ. මහජනයා මහහඬින් සාධුකාර දුනි.
රජතුමා “බෝධිසත්ත්‍වයන් වනාහි නඩුව මැනවින් විනිශ්චය කරන ලද්දේ යයි අසා ඔහු අමතා “දරුව, මෙතැන් පටන් නුඹම අධිකරණයෙහි යුක්තිය විනිශ්චය කරව”යි විනිශ්චය තනතුර බෝධිසත්ත්‍වයන්ට දුන්නේය. ඛණ්ඩහාළගේ ආදායම සිඳීගියේය. ඔහු එතැන් පටන් බෝධිසත්ත්‍වයන් කෙරෙහි වෛර බැඳ එතුමන්ගේ සිදුරු සොයන්නෙක්ව හැසිරුනේය. ඒ රජතුමා වනාහි මෝඩ පැහැදීම ඇත්තෙකි. ඔහු එක් දිනක් සිහිනෙන් දෙව්ලොව දැක එහි යනු කැමැත්තේ වී පුරෝහිතයාට “බ්‍රහ්මලෝකයට යන මග කියව”යි කීවේය. පුරෝහිතයා “අතිදානය දෙමින් සර්‍වචතුස්ක යාගය කරනු මැනවැ”යි කියා රජු විසින් “අතිදානය යනු කුමක්දැයි” විචාරණ ලද්දේ තමාගේ ප්‍රිය පුත්‍රයා, ප්‍රිය භාර්‍ය්‍යාව, ප්‍රිය දියණිය, මහ සම්පත් ඇති සිටුවරු, මඟුලැතා හා අශ්වයා යන මේ ආදීන් හතර දෙනා හතර දෙනා බැගින් ගෙන දෙපා සිවුපා සතුන් යාගය සඳහා පරිත්‍යාග කොට ඔවුන්ගේ හිස කපා දැමීමෙන් ගලන ලෙයින් යාග කිරීම “අතිදාන” නම් වේයයි හැඟවීය. ඔහු මෙසේ ස්වර්‍ග මාර්‍ගය කියන්නෙමියි නිරය මාර්‍ගය කීවේය.
රජතුමාද ඔහු ‘නුවණැත්තෙකැ’යි යන හැඟීමෙන් ඔහු කී ආකාරය ස්වර්‍ග මාර්‍ගය යයි කල්පනා කොට එය පිළිපදිනු කැමැත්තේ මහත් යාගාවාටයක් කරවා එහි බෝධිසත්ත්‍වයන් ප්‍රධාන රාජ කුමාරවරුන් සතර දෙනා ආදි කොට ඛණ්ඩහාළ විසින් කියන ලද සියලු දෙපා සිවුපා සතුන් යාග කරන තැනට ගෙනයව් යයි අණ කළේය. සියලු රාග ද්‍රව්‍ය සමීපයට ගෙන ආවේ විය. එය අසා මහජනයා මහත් කෝලාහලයක් කළේය. රජතුමා විපිළිසරට පත්වී ඛණ්ඩහාළ විසින් පොළඹවන ලද්දේ නැවත ද එසේ කිරීමට අණ කළේය. බෝධිසත්ත්‍වයන් වහන්සේ විනිශ්චය තනතුර නොලැබූ ඛණ්ඩහාළ විසින් මා කෙරෙහි වෛර බැඳ මටම මරණය කැමති වෙමින් මහජනයාට අනේක විපත් උපදවන ලද්දේ ය”යි දැන නොයෙක් උපායයෙන් රජතුමා ඒ වැරදි අවබෝධ සහිත තැනැත්තාගේ ග්‍රහණයෙන් මුදවන්නට වෑයම් කොටද නොහැකි වූහ. මහජනයා හැඬීය. මහත් කරුණාවක් දැක්වීය. මහජනයා වැලපෙමින් සිටියදීම යාගාවාටයෙහි සියලු කටයුතු නිමාවිය. රාජ පුත්‍රයා ගෙනගොස් කර නමා හිඳවූහ. ඛණ්ඩහාළ රන් පාත්‍රය එළවා (ගෙනැවිත් දී) කඩුව ගෙන ඔවූන්ගේ ගෙල සිඳින්නෙමි’යි සිටියේය. රජ පුත් බෝසතුන්ගේ චන්‍දා දේවිය එය දැක “මට වෙනත් පිළිසරණක් නැත. තමාගේ සත්‍යක්‍රියා බලයෙන් ස්වාමියාට යහපතක් කරන්නෙමි”යි ඇඳිලි බැඳ පිරිස අතර හැසිරෙන්නී “ඛණ්ඩහාළ ස්වර්‍ග මාර්‍ගය කියා කරන දෙය ඒකාන්තයෙන්ම පාප කර්‍මයකි. මේ මාගේ සත්‍ය වචනයෙන් මගේ සැමියාට යහපතක් වේවා.