6. නිමිරාජ චරියා වර්ණනාව
40. “පුනාපරං යදාහොමි මිථිලායං පුරුත්ත මෙ
නිමිනාම මහා රාජා පණ්ඩිතො කුසලත්‍ථිකො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම් කලෙක මිථිලානම් උතුම් පුරයෙහි පණ්ඩිත වූ කුශලාභිවෘද්ධිය පතන නිමි නම් මහරජෙක් වීම්ද”
හයවෙනි (නිමිරාජ චරිතයෙහි) “මිථිලායං පුරුත්තමෙ” යනු විදේහ රටට අයත් මිථිලා නම් උතුම් නගරයෙහි, “නිමිනාම මහා රාජා” යනු නිම්වළලු ගැටෙන්නාක් මෙන් උපන්නේනුයි ‘නිමි’ යයි ලැබූ නම් ඇති, මහත් වූ දානශීලාදී ගුණ විශේෂයන්ගෙන් ද මහත් වූ රාජානුභාවයෙන් ද යුක්ත වූ හෙයින් මහත් වූ රජ = මහාරාජා’යි “පණ්ඩිතො කුසලත්‍ථිකො” යනු තමාට අනුන්ට පින් කැමති, පිනෙන් ප්‍රයෝජන ඇත්තා වූ
අතීතයෙහි වනාහි විදේහ රට මියුලු නුවර අප මහ බෝසතාණන් වහන්සේ මඛාදේව නම් රජෙක් වූහ. හෙතෙම අවුරුදු අසූහාර දහසක් කුමාර ක්‍රීඩා කොට අවුරුදු අසූහාර දහසක් යුවරජ වී අවුරුදු අසූහාර දහසක් රජකම් කරන්නේ “යම් දිනක මගේ හිසෙහි නර (ඉදීගිය) කෙස් දිටී නම් එදින මට දැනුම් දෙවයි කපුවා හට කියා මෑත කාලයෙහි ඔහු විසින් නරකෙස් දැක දැනුම් දුන් කල්හි රන් අඬුවෙන් උදුරවා අතෙහි තබවා නර කෙස් බලා “මට දේවදූතයා පහළ වී ය”යි හටගත් සංවේග ඇත්තේ දැන් මා විසින් පැවිදි වීමට වටී යයි සිතා ලක්‍ෂයක් උපදනා ගම්වරයක් කරණවෑමියා හට දී වැඩිමහල් කුමාරයා කැඳවා ඔහුට,
“මාගේ වයස පැහැර ගත්තා වූ මේ (සුදු) කෙස් හටගත්තේය. දේවදූතයෝ පහළවූහ. මට පැවිදි වීමට කාලයයි”
කියා මනාකොට රාජ්‍යයෙහි අනුශාසනා කොට තමාට තවත් අවුරුදු අසූහාර දහසක් ආයු ඉතිරිව තිබියදීත් මාරයා සමීපයෙහි සිටියකු මෙන් තමන් ගැන සිතමින් කළකිරුණු සිත් ඇත්තේ පැවිද්ද කැමති විය. එහෙයින්
“මඛාදේව රජතුමා හිසෙහි නරකෙසක් දැක සංවේගයට පත් විය. නුවණැති රජතුමා පැවිද්ද කැමති වීය”යි කියන ලදී.
හෙතෙම - පුතාහට යම්සේ මවිසින් පිළිපන්නේ ද ඒ ආකාරයෙන් පවතින්න, නුඹ අන්තිම පුරුෂයා නොවෙව”යි අවවාද දී නගරයෙන් නික්ම මහණ පැවිද්දෙන් පැවිදි වී අවුරුදු අසූහාර දහසක් ධ්‍යාන සමාපත්තීන්ගෙන් කල්යවා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. එතුමන්ගේ පුතාද බොහෝ වර්‍ෂ දහස් ගණනක් ධර්‍මයෙන් රාජ්‍යය කොට ඒ ආකාරයෙන්ම පැවිදිව බ්‍රහ්ම ලෝකයේ උපන්නේය. ඔහුගේ පුතාද එසේමය. ඔහුගේ පුතාද එසේම යයි මෙසේ දෙනෙකු අඩු අසූහාර දහසක් (83998) රජවරු හිසෙහි නර කෙස් දැකම පැවිදි වූහ. ඉක්බිති බෝධිසත්ත්‍වයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිටියාහු “මා විසින් මනුෂ්‍ය ලෝකයෙහි කළ යහපත් කටයුතු පවතීද? නොපවතීදැයි සිහි කරන්නාහු “මෙතෙක් කල් පැවතිණ දැන් නොපවත්නේ ය”යි දුටහ. එතුමා “මගේ ප්‍රවේණිය කඩ කිරීමට මම ඉඩ නොදෙමි”යි තමාගේ වංශයෙහි උපන් රජුගේම අගමෙහෙසිය කුසෙහි පිළිසිඳගෙන තමාගේ වංශයෙහි නිම්වළලු ගළපන්නාක් මෙන් උපන්හ. එහෙයින් “නෙමිං ඝටෙන්තො විය උප්පන්නොති නිමීති ලද්ධනාමො”යි කියන ලදී.
ඔහුට නම් තබන දවසෙහි පියා විසින් කැඳවන ලද ලක්‍ෂණ පාඨකයෝ ලක්‍ෂණ (පරීක්‍ෂා කොට) බලා “මහරජ මේ කුමාරයා ඔබ වහන්සේගේ වංශය දියුණු කරන්නේය. ඔබගේ මුත්තණුවෝද වෙති. මහානුභාවසම්පන්න මහා පින් ඇත්තෙකි” යනුවෙන් ප්‍රකාශ කළහ. එය අසා රජතුමා කියන ලද අර්‍ථයට අනුව ‘නිමි’ යයි ඔහුට නම් කළේය. හෙතෙම ළදරු කල පටන්ම පඤ්ච ශීලයෙහි සහ උපෝසථ ශීලයෙහි යෙදුනෙක් විය. ඉක්බිති ඔහුගේ පියා පෙර කී පරිදිම නරකෙසක් දැක මඟුල් කපුවාට ගම්වරයක් දී පුතා රාජ්‍යයෙහි පිහිටුවා නගරයෙන් නික්ම පැවිදිව ධ්‍යාන උපදවා බ්‍රහ්මලෝක පරායණ විය.
නිමි රජ වනාහි දානාධ්‍යාශයෙන් සතර දොරටුවෙහි ද නගරය මැදදැයි දානශාලා පහක් කරවා මහදන් පැවැත්වීය. එක් එක් දානශාලාවකට ලක්‍ෂය ලක්‍ෂය බැගින් දිනපතා ලක්‍ෂ පහක් පරිත්‍යාග කළේය. පන්සිල් රැක්කේය. පක්‍ෂ (පුර, අව පෝය) දිනයන්හි පෙහෙවස් සමාදන් විය. මහජනයාද දානාදී පින්කම්වල සමාදන් කරවීය. ස්වර්‍ග මාර්‍ගය ප්‍රකාශ කළේය. නිරය භයින් භයගැන්වීය. පවින් වැළැක්වීය. එතුමාගේ අවවාදයෙහි පිහිටා මහජනයා දානාදී පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේය. දෙව්ලොව පිරුණි. නරකය හිස් වූවාක් මෙන් විය. එකල්හි වනාහි තමන්ගේ දානාධ්‍යාශයෙහි උදාර බවත් විශේෂයෙන් දාන පාරමිතාව පිරූ බවත් දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ -