5. මහාගෝවින්ද චරියා වර්ණනාව
37. “පුනාපරං යදා හොමි සත්තරාජ පුරොහිතො
පූජිතො නරදෙවෙහි මහාගොවින්ද බ්රාහ්මණො” (චරියා පිටක)
පූජිතො නරදෙවෙහි මහාගොවින්ද බ්රාහ්මණො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක සත් රජුන්ගේ පුරෝහිත වූ රජුන් විසින් පුදන ලද මහා ගෝවින්ද නම් බ්රාහ්මණයෙක් වීම් ද”
පස්වෙනි (මහාගොවින්ද චරිතයෙහි) “සත්තරාජ පුරොහිතො” යනු සත්තභූ ආදි රජුන් සත්දෙනෙකුගේ සියලු කාර්ය්යයන්හි අනුශාසක වූ පුරෝහිතයා, “පුජිතො නරදෙවෙහි” යනු ඒ රජවරුන් විසින් ද දඹදිව අනෙක් සියලුම ක්ෂත්රියයන් විසින් ද සිව්පසය පූජා කිරීම්, සත්කාර සම්මාන කිරීම් වශයෙන් පුදන ලද්දේ, “මහාගොවින්ද බ්රාහ්මණො” යනු මහත් ආනුභාවය ඇති නිසාත් ගොවින්ද නම් වූ තම පියාගේ තනතුරෙහි පිහිටුවීමෙන් අභිෂේක කළ නිසාත්, “මහා ගොවින්ද” යයි ව්යවහාරයට පත් බ්රාහ්මණයා, අභිෂේක කළ කාලයේ සිට බෝධිසත්ත්වයන් වහන්සේට මෙම ව්යවහාරය ඇති විය. නමින් වනාහි ජෝතිපාල නම් විය. ඔහු උපන් දිනයෙහි සියලු ආයුධ දිලිහී ගියේය. රජතුමා ද අළුයම් වේලෙහි තමාගේ මඟුල් කඩුව දිලිහී ගිය බව දැක බියට පත්වූයේ උපස්ථානය සඳහා පැමිණි තමාගේ පුරෝහිත වූ, බෝධිසත්ත්වයන්ගේ පියාගෙන් අසා “මහරජ, බිය නොවන්න. මට පුතෙක් උපන්නේය. ඔහුගේ ආනුභාවයෙන් රජගෙදර පමණක් නොව සියලු නගරයෙහිම ආයුධ දිලිසුනේය. එය කරණකොට ගෙන නුඹ වහන්සේට අනතුරක් නැත. සියලු දඹදිව වනාහි ප්රඥාවෙන් ඔහුට සමාන කෙනෙක් නොවන්නාහ. මේ එයට පූර්ව නිමිත්ත යයි පුරෝහිතයා විසින් අස්වසනු ලැබූයේ සතුටු සිතැතිව කුමාරයාට කිරි මිළ වේවායි (කහවණු) දහසක් දී වැඩිවිය පැමිණි කළ මට දැක්වුව මැනවැයි කීය. හෙතෙම වැඩිවියට පත් වූයේ පසු කලෙක අර්ථය දැකීමට සුදුසු නුවණ ඇත්තේ රජවරුන් සත්දෙනාගේ සියලු කාර්ය්යයෙහි අනුශාසකයා වී යළි පැවිදිව ද සත්ත්වයන් දිට්ඨධම්මික, සම්පරායික (මෙලොව, පරලොව) අනර්ථයන්ගෙන් ආරක්ෂාකොට අර්ථයෙහි යෙදවීය. මෙසේ බැබලුන නිසාත් පාලනයෙහි සමර්ථ නිසාත් මොහුට ජොතිපාල යයි නම් කළහ. “නාමෙන ජොතිපාලො නාම” යයි එහෙයින් කියන ලදී.
එහිදී බෝධිසත්ත්වයෝ “දිසම්පති” නම් රජුගේ පුරෝහිත ගෝවින්ද නම් බ්රාහ්මණයාගේ පුතා වී තමාගේ පියාගේ ද ඒ රජුගේ ද ඇවෑමෙන් ඒ රජුගේ පුත් වූ රේණු නම් රජු ද ඔහුගේ යහළුවන් වූ සත්තභූ, බ්රහ්මදත්ත, වෙස්සභූ, භරත, ධතරට්ඨ රජවරු දෙදෙනාය යන මේ සත් රජවරු යම්සේ ඔවුනොවූන් විවාද නොකෙරෙත් ද, එසේ රාජ්යයෙහි පිහිටුවා ඔවුන්ට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන්නා වී දඹදිව සියලු රජුන් විසින් ද සෙසු බ්රාහ්මණයන් විසින් ද දේවනාගයන් විසින් ද මනුෂ්යයන් විසින් ද ගෘහපතීන් විසින් ද සත්කාර ගරුකාර මානන පූජා කරන ලද්දාහු උතුම් ගෞරවස්ථානයට පත් වූහ. අර්ථධර්මයන්හි කුශලතාව හේතුකොට ගෙන ඔහුට “මහා ගෝවින්ද” යන නාමය ඇතිවූයේය. කියන ලද්දේමය: “ගොවින්දො වත භො බ්රාහ්මණො (මහා) ගොවින්දො වත භො බ්රාහ්මණො”යි (දීඝනිකාය - මහාගොවින්ද සුත්ත) එහෙයින්
“පුනාපරං යදා හොමි සත්තරාජ පුරොහිතො
පූජිතො නර දෙවෙහි මහා ගොවින්ද බ්රාහ්මණො”යි කියන ලදී.
පූජිතො නර දෙවෙහි මහා ගොවින්ද බ්රාහ්මණො”යි කියන ලදී.
ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේගේ පුණ්යනුභාවයෙන් උත්සාහවත් කරන ලද ඒ රජුන් විසින් ද ඔවුන්ට අනුයුක්ත ක්ෂත්රියයන් විසින් ද බ්රාහ්මණ ගෘහපතියන් විසින් ද ගම් නියම්ගම් ජනපද වැසියන් විසින් ද මතු මත්තෙහි එලවන ලද, හාත්පසින් මහෝඝයක් මෙන් උතුරා යන අප්රමාණ උදාර ලාභසත්කාර උපන. අප්රමාණ ජාතීන්හි රැස්කරන ලද මහත් කුශලසමූහ ඇත්තාහට උසස් කුලයෙහි උපන්නහුට, පිරිසිදු ශීලාචාර ගුණ ඇත්තාහට, ප්රියශීලිභාවය ඇත්තාහට, මැනවින් හදාළ සියලු ශිල්ප ඇත්තාහට, සියලු සත්ත්වයන් කෙරෙහි පුත්ර සමාන කරුණාවෙන් පතුරුවන ලද සිනිඳු මෘදු හද ඇත්තාහට, ලාභසත්කාර උපදින අයුරින්ම උපන. බෝධිසත්ත්වයෝ “දැන් වනාහි මට මහා ලාභ සත්කාර ඇත්තේය. දාන පාරමිතාව පුරන්නෙම් නම් යෙහෙකැ”යි සිතූහ. හෙතෙම නුවර මැදද, සතර දොරටුවෙහිද තමන්ගේ නිවස දොරටුවේද යනුවෙන් දානශාලා හයක් කරවා දිනපතා අප්රමාණ ධන පරිත්යාගයෙන් මහා දාන පැවැත්වීය. යම් යම් තුටු පඬුරක් ගෙන එනු ලැබේද යමක් තමා සඳහා පිළියෙළ කෙරේද ඒ සියල්ල දානශාලාවලටම යැවීය. මෙසේ දවස් පතා මහා පරිත්යාග කරන ඔහුගේ සිතට තෘප්තියක් හෝ සන්තෝෂයක් හෝ නොවීය. (සිතේ) හැකිලීමක් නම් කොයින්ද? මොවුන්ගේ දාන ශාලාවට ලාභාශාවෙන් එන්නන්ගෙන් ද දානවස්තු ගෙනයන්නන්ගෙන් ද මහාසත්ත්වයන් වහන්සේගේ විශේෂ ගුණ කියන මහ ජනකායෙන් ද ඇතුල් නුවර මෙන්ම පිටනුවර ද හාත්පසින් එක් මහා ගංවතුරක් මෙන් ද කල්පාරම්භයෙහි මහා වාතය ගැටීමෙන් පරිභ්රමණය වූ මහා සමුද්රය මෙන් ද ඒක කෝලාහල, ඒක නින්නාද විය. එහෙයින්
38. “තදාහං සත්ත රජ්ජෙසු යං මෙ ආසි උපායනං
තෙන දෙමි මහාදානං අක්ඛො හං සාගරූපමං
තෙන දෙමි මහාදානං අක්ඛො හං සාගරූපමං