4. මහාසුදස්සන චරියා වර්ණනාව
28 “කුසාවතිම්හි නගරෙ යදා ආසිං මහීපතී
මහා සුදස්ස නො නාම චක්කවත්ති මහබ්බලො (චරියා පිටක)
මහා සුදස්ස නො නාම චක්කවත්ති මහබ්බලො (චරියා පිටක)
“කුසාවතී නම් නුවර යම්කලෙක මහත්බල ඇති මහා සුදර්ශන නම් සක්විති රජෙක් වූවෙම් ද?
සතරවෙනි (මහාසුදර්ශන චරිතයෙහි) “කුසාවතිම්හි නගරෙ” යනු යම්තැනෙක දැනට කුසිනාරා නම් නගරය පිහිටියේ ද එම කුසාවතී නම් නගරයෙහි, “මහීපතී” යන නමින් මහාසුදර්ශන නම් ක්ෂත්රියයා, “චක්කවන්ති” යනු චක්රරත්නය පවත්වයි නැතහොත් චතුර් සම්පත් චක්රයන්ගෙන් පවතී ද, පරහිත සඳහා ඒවා අනුන් කෙරෙහි පවත්වයි ද ඉරියාපථ චක්රයන්ගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේනුයි චක්රවර්ති වේ. නැතහොත් ආශ්චර්ය්ය ධර්මයන් සතරෙන් හා සංග්රහවස්තු සතරෙන් යුක්ත වූවකු විසින්. අනුන් විසින් යටපත් කළ නොහැකි, ඉක්මවිය නොහැකි ආණා සඞ්ඛ්යාත චක්රයාගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේනුයි චක්කවත්ති වේ. පරිණායක රත්නය පෙරටුකොට ගත් හස්තිරත්නාදිය ප්රමුඛ මහත් බලකායෙන් ද ප්රත්යානුභාවයෙන් හටගත් කාය බලයෙන් ද යුක්ත වූ හෙයින් “මහබ්බලො”යි. “යදා ආසිං” යනු සම්බන්ධයයි. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතයෙහි වනාහි මහාපුරුෂතෙම සුදර්ශන ආත්මභාවයට පෙර තුන්වන ආත්මභාවයෙහි ගෘහපති කුලයෙහි උපන්නේ තමාගේ කිසියම් කටයුත්තක් සඳහා වනයට පිවිසියේ ජීවමාන බුදුන් වහන්සේගේ ශාසනයෙහි අරණ්යවාසීව වසන එක් තෙරනමක් ගසක් මුල වැඩ හිඳිනු දැක, “ම විසින් මෙහි ආර්ය්යයන් වහන්සේ පන්සලක් කිරීම වටී යයි සිතා තමාගේ කටයුතු හැරපියා දැව දඬු කපා විසීමට සුදුසු පන්සලක් කොට දොරක් යොදා දැව ඇතිරියක් (ලී මැස්සක්) සාදා උන්වහන්සේ පන්සල පරිභෝග කරන්නාහු ද නැත්දැයි විමසනු පිණිස එකත් පසෙක හුන්නේය. තෙරුන් වහන්සේ ඇතුල් ගමෙන් ආපසු වැඩමකොට පන්සලට පිවිස දැව ඇතිරියෙහි වැඩ හුන්හ. මහාසත්ත්වයෝ ද උන්වහන්සේ වෙත එළඹ “ස්වාමීනි පන්සල සුව පහසුදැයි ඇසූහ. “යහපත් මුහුණක් ඇති උපාසකය, පහසුය, පැවිද්දන්ට සුදුසු යයි වදාළහ. “ස්වාමීනි ඔබ වහන්සේ මෙහි වැඩ වසන සේක් ද? “එසේය උපාසකය” හෙතෙම ඉවසා වදාළ අයුරින්ම වාසය කරන්නේ යයි දැන නිතර මාගේ නිවසට (පිඬු පිණිස) වැඩිය මැනවැයි ප්රතිඥා ගෙන නිතර තමාගේ නිවසෙහිම දන් වැළඳවීම කරවීය. හෙතෙම පන්සලෙහි කලාලයක් අතුරා ඇඳ පුටු පැනෙව්වේය. හේත්තුවන ලෑල්ලක් ගෙනවිත් තැබීය. පය සෝදන ලෑල්ලක් ද තැබීය. පොකුණක් කැණීය. සක්මන් මළුවක් කොට වැලි විසුරුවීය. උවදුරු දුරුකරනු පිණිස පන්සල කටුවැටකින් වටකළේය. පොකුණ සහ සක්මන් මළුවද එසේම වට කළේය. එහි ඇතුළෙහි වැට අයිනෙහි තල්ගස් පෙළක් රෝපණය කළේය. ඒ මේ ආදියෙන් ආවාසය නිමවා තෙරුන් වහන්සේට තුන් සිවුරු ආදිකොට ඇති සියලු මහණ පිරිකර දුන්නේය. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ විසින් තෙරුන් වහන්සේට තුන් සිවුරුද, පිණ්ඩපාතයද, පාත්ර ද, තැටි ද, පෙරහන්කඩ ද, කෙණ්ඩි ද, පරිභෝග භාණ්ඩ ද, කුඩ හා පාවහන් ද, දියකළ ද, ඉදිකටු ද, සැරයටි ද, ඉදිකටු ගුලාද කතුරු ද, නියපොතු කපන පිහි ද, පහන් දැල්වීමට අවශ්ය දේද යනාදී පැවිද්දන්ට අයත් පරිභෝග භාණ්ඩයන්ගෙන් නුදුන් දෙයක් නම් නොවීය. හෙතෙම පන්සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් ජීවිතාන්තය දක්වා තෙරුන්ට උවටැන් කළේය. තෙරුන් වහන්සේ එහිම වසන්නාහු රහත් ඵලයට පත්ව පිරිනිවි සේක.
බෝධිසත්ත්වයන් වහන්සේද ආයු ඇති තෙක් පින් කොට දෙව්ලොව ඉපිද එයින් චුත වී මිනිස් ලොවට එන්නාහු කුසාවතී රාජධානියෙහි ඉපිද මහාසුදර්ශන නම් සක්විති රජ වූහ. ඔහුගේ ඉසුරුමත් බව “භූත පුබ්බං ආනන්ද රාජා මහාසුදස්ස නො නාම අහොසි ඛත්තියො මුද්ධාභි සිත්තෙ” (ආනන්දය, පෙර මහා සුදර්ශන නම් හිසෙහි අභිෂේක කළ (ඔටුනු පැළද වූ) ක්ෂත්රිය රජෙක් විය) ආදී වශයෙන් (දීඝනිකාය - මහාසුදස්සන) සූත්රයෙහි ආවේමය. ඔහුට වනාහි කුසාවතී රාජධානිය ප්රමුඛ නගර අසූහාර දහසක්ද, ධර්මප්රාසාදය ප්රමුබ ප්රාසාද අසූහාර දහසක්ද, මහාබ්යුහ කූටාගාරය ප්රමුඛ කූටාගාර අසූහාර දහසක්ද විය. ඒ සියල්ලම තෙරුන් වහන්සේ උදෙසා කළ එකම පන්සලෙහි ආනිසංසය හේතුකොට ගෙන පහළ විය. උන්වහන්සේට පූජා කළ ඇඳ පුටුවල ආනිසංස වශයෙන් පර්ය්යඞ්ක අසූහාර දහසක් ද ඇතුන් අසූහාර දහසක් ද අසුන් අසූහාර දහසක් ද රථ අසූහාර දහසක්ද පහළ විය. උන්වහන්සේට පූජා කළ පහනේ ආනිසංස වශයෙන් මැණික් අසූහාර දහසක් ද පොකුණේ ආනිසංස වශයෙන් අසූහාර දහසක් පොකුණු ද, පාත්ර තැටි ආදි පරිභෝග කිරීමට සුදුසු පැවිදි පිරිකර දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් ස්ත්රීහු ද, අසූහාර දහසක් පුත්රයෝ ද අසූහාර දහසක් ගෘහපතීහු ද පහළ වූහ. පස්ගෝරස දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් දෙන්නු ද, හැඳීමට පෙරවීමට සුදුසු දේ දීමේ ආනිසංස වශයෙන් කෝටි අසූහාර දහසක් වස්ත්ර ද, භෝජන දානයෙහි ආනිසංස වශයෙන් අසූහාර දහසක් බත් සැළි ද පහළ වූහ. හෙතෙම සප්තවිධ රත්නයෙන් හා සතර සෘද්ධීන්ගෙන් යුක්ත වූයේ රාජාධිරාජව සියලු සාගර කෙළවර කොට ඇති පෘථිවි මණ්ඩලය දශරාජ ධර්මයෙන් ජයගෙන වාසය කරන්නේ නොයෙක් සිය ගණන් තැන්වල දානශාලා කරවා මහදන් පැවැත්වීය. “යමෙක් යම් යම් දෙයක් කැමැත්තේ නම් හෙතෙම දානශාලාවලට පැමිණ එය ගනිත්වායි දවසට තෙවරක් නගරයෙහි බෙර හැසිරවීය. එහෙයින් “තත්ථාහං දිවසෙ තික්ඛත්තුං ඝොසාපෙමි තහිංතහිං” ආදිය කියන ලදී.
29 තත්ථාහං දිවසෙ තික්ඛත්තුං - ඝොසාපෙමි තහිං තහිං
කො කිං ඉච්ඡති පත්ථෙති - කස්ස කිං දීයතු ධනං
කො කිං ඉච්ඡති පත්ථෙති - කස්ස කිං දීයතු ධනං
30. කො ඡාතකො කො තසිතො - කොමාලං කො විලෙපනං
නානා රත්තානි වත්ථානි - කො නග්ගො පරිදහිස්සති
නානා රත්තානි වත්ථානි - කො නග්ගො පරිදහිස්සති
31 කො පථෙ ඡත්ත මාදෙති - කොපාහණා මුදු සුභා
ඉති සායඤ්ච පාතොච - ඝොසාපෙමි තහිං තහිං” (චරියා පිටක)
ඉති සායඤ්ච පාතොච - ඝොසාපෙමි තහිං තහිං” (චරියා පිටක)
“එහි මම දවසට තුන්වරක් ඒ ඒ තැන බෙර හැසිර වූයෙමි. කවරෙක් කුමක් කැමැත්තේ ද? ප්රාර්ථනා කෙරේ ද? කවරකුහට කුමන ධනයක් (මවිසින්) දෙනු ලැබේවා ද? කවරෙක් සාදුක් ඇත්තේ ද? කවරෙක් පිපාසා ඇත්තේ ද? කවරෙක් මල්, කවරෙක් විලවුන් (කැමැත්තේ ද?) නග්න වූ කවරෙක් නානා වස්ත්රයන් හඳින්නේ ද?
කවරෙක් මාර්ගයෙහි කුඩයක් ගනීද? කවරෙක් සුව පහස් ඇති දර්ශනීය පාවහන් ගනීදැයි මෙසේ උදේ දවල් හවස ද ඒ ඒ තැන ඝෝෂා කරවීමි.”
එහි “තත්ථ” යනු ඒ නගරයෙහි, “තදාහං” යනුවෙන් ද පාඨයකි. එහි එකල්හි මම මහා සුදර්ශන වූ කල්හි යන අර්ථයයි. “තහිංතහිං” යනු ඒ ඒ තැන, ඒ ඒ ප්රාකාරයෙහි ඇතුලත ද පිටත ද යන අර්ථයයි. “කො කිං ඉච්ඡති” යනු බ්රාහ්මණාදීන් අතුරෙන් යම්කිසි සත්ත්වයෙක් ආහාර ආදී දිය යුතු දේ අතුරෙන් යම්කිසිවක් කැමති වෙයිද, “පත්ථෙති” යනු එයටම පර්ය්යාය වචනයකි. “කස්ස කිං දීයතු ධනං” යනු නොයෙක්වර නොයෙක් ආකාරයෙන් දාන ඝෝෂාව පැවති බව දැක්වීමට කියන ලදී. මෙයින් දාන පාරමිතාවේ ස්වරූපය දක්වයි. දිය යුතු වස්තුන්ගේ ද ප්රතිග්රාහකයන්ගේ ද විකල්ප රහිත (තේරීමක් නැති) බව බෝධිසත්ත්වයන්ගේ දාන පාරමිතාවයි.