3. කුරුධම්ම චරියා වර්ණනාව
20. “පුනාපරං යදාහොමි ඉන්‍දපත්තෙ පුරුත්තමෙ
රාජා ධනඤ්ජයො නාම කුසලෙ දසහුපාගතෙ
21. කාලිඞ්ග රට්ඨ විසයා බ්‍රාහ්මණා උපගඤ්ජු මං
ආයාචුං මං හත්‍ථිනාගං ධඤ්ඤං මඞ්ගල සම්මතං
22. අවුට්ඨිකො ජනපදො දුබ්භික්‍ඛො ජාතකො මහා
දදාහි පවරං නාගං නීලං අඤ්ජන සව්හයං” (චරියා පිටකය)
“නැවත අනිකුදු (චරිතයක් කියමි) යම්කලෙක මම ඉඳිපත් නම් උතුම් නුවර දශ කුශල කර්‍මපථයෙන් යුක්ත වූ ධනඤ්ජය නම් රජෙක් වීම් ද කළිඟු රටින් බ්‍රාහ්මණයෝ මා කරා පැමිණියෝ ය. ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ මංගල සම්මත වූ හස්තිරාජයා මාගෙන් ඉල්ලුවෝ ය.
ජනපදය වැසි නැත්තේ ය. දුර්ලභ භෝජන ඇත්තේය. මහත් වූ සාදුක් පවතී. උතුම් වූ නීල වර්‍ණ වූ අඤ්ජන නම් ඇති ඇතා දුන මැනව”
තෙවන (කුරුධර්‍ම චරිතයෙහි) “ඉන්‍දපත්තෙ පුරුත්තමෙ” යනු කුරුරට ඉඳිපත් නම් පුරවරයෙහි, උතුම් නගරයෙහි, “රාජා” යනු දැහැමෙන් සෙමෙන් සතර සංග්‍රහ වස්තූන්ගෙන් පිරිස සතුටු කෙරේනුයි “රාජා” යි, “කුසලෙ දසහුපාගතො” යනු දශ කුලයන්ගෙන් යුක්ත වූයේ, දානාදී දශ පුණ්‍ය ක්‍රියා වස්තුන්ගෙන් හෝ දශ කුශලකර්‍ම පථයන්ගෙන් යුක්ත වූ යන අර්‍ථයයි.
“කාලිඞ්ග රට්ඨ විසයා” යනු කලිඟුරට නම් ප්‍රදේශයෙන්, “බ්‍රාහ්මණා උපගච්ඡුමං” යනු කලිඟු රජු විසින් පිටත් කර එවන ලද බ්‍රාහ්මණයෝ අට දෙනෙක් මා වෙත එළඹුනාහුය. එළඹ වනාහි “ආයාචුං මං හත්‍ථිනාගං” යනු ඇතා වූ මහා හස්තියා මගෙන් ඉල්ලුහ, “ධඤ්ඤං” යනු ධනයක් මෙන් සලකනු ලබන ශ්‍රී සෞභාග්‍යයෙන් යුත් ලක්‍ෂණ සහිත “මඞ්ගල සම්මතං” යනු එම ලක්‍ෂණ සම්පත්තියෙන් යුක්ත නිසාම මඞ්ගල්‍යයක්, අභිවෘද්ධියට කාරණයක් යැයි මහජනයා විසින් උසස් ලෙස සම්මතය.
“අවුට්ඨි කො” යනු වැස්ස නැති. දුර්භික්‍ෂය, දුලබ බොජුන් ඇති “ඡාතකො” යනු මහත් වූ සාගිනි ආබාධ පවතී යන අර්‍ථයයි. “දදාහි” යනු දෙව. “නීලං” යනු නිල්පාට “අඤ්ජනස්වහයං” යනු අඤ්ජන ශබ්දයෙන් කැඳවිය යුතු, අඤ්ජන නම් වූ යන අර්‍ථයයි. මෙය කියන ලද්දේ වෙයි, අපගේ කලිඟුරට වැස්ස රහිතය. එහෙයින් දැන් මහා දුර්භික්‍ෂයෙකි. එහි මහත් සාගිනි බියක් හටගතී. එය දුරුකිරීම පිරිස මේ අඳුන්ගිර සමාන ඔබ වහන්සේගේ අඤ්ජන නම් වූ මංගල හස්තියා දුන මැනවි. මොහු එහි ගෙනගිය කල්හි වැස්ස වසින්නේය. එහෙයින් ඒ සියලු බිය දුරුවන්නේය. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතයෙහි කුරු රට ඉඳිපත් නුවර බෝධිසත්ත්‍වයන් වහන්සේ කුරු රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ක්‍රමයෙන් නුවණැති බවට පැමිණ තක්‍ෂිලාවට ගොස් යෝග සහිත සියලු ශිල්ප හා විද්‍යාවන් ඉගෙන ආපසු පැමිණියාහු පියතුමා විසින් යුව රජ තනතුරෙහි පිහිටුවන ලද්දාහු පියාගේ ඇවෑමෙන් රාජ්‍යයට පත්ව දශරාජ ධර්‍මයන් නොඉක්මවමින් දැහැමෙන් රාජ්‍යය කළ සේක. ධනඤ්ජය නම් වූ මේ රජතුමා නගරදොරටු සතරෙහි ද නගරය මැද ද රජවාසල දොරටුවෙහිදැයි දාන ශාලා හයක් කරවා දිනපතාම සය ලක්‍ෂයක් ධනය වියදම් කරමින් සියලු දඹදිවට උත්සව ශ්‍රීයෙන් (නඟුල් උඩදමා) දන් දුන්නේය. එතුමාගේ දානාධ්‍යාශයත් දානයෙහි ඇල්මත් සියලු දඹදිව පැතිරී ගියේය.
එකල්හි කලිඟු රට දුර්භික්‍ෂ භය, සාගිනි භය, රෝග භය යන තුන් බියක් හට ගති. සියලු රටවැසියෝ දන්ත පුරයට ගොස් රාජාඞ්ගනයෙහිදී “දේවයන් වහන්ස, වැස්ස වස්සවනු මැනවැ”යි උද්ඝෝෂණය කළහ. රජතුමා එය අසා මොවුහු කුමන කරුණක් නිසා කෑගසත්දැයි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ රජතුමාට එම කාරණය සැළකළහ. රජතුමා, පැරණි රජවරු වැස්ස නොවසින කල්හි කුමක් කරත්දැයි විමසීය. “වැස්ස වසීවායි දන් දී උපෝසථය අරමුණු කොට සිල් සමාදන්ව සිරියහන් ගබඩාවට පිවිස තණ ඇතිරියෙහි සත්දිනක් සැතපෙත්” යයි (ඇමතියෝ පිළිතුරු දුන්හ.) එය අසා එසේ කළේය. නමුත් වැස්ස නොවැස්සේය. මෙසේ රජතුමා “මම මා විසින් කළ යුතු දෙය කෙළෙමි. වැස්ස නොවසියි. කුමක් කරන්නෙම්දැයි ඇසීය. “දේවයන් වහන්ස, ඉඳිපත් නුවර ධනඤ්ජය නම් කුරු රජුගේ මඟුල් ඇතා ගෙන ආ කල්හි වැස්ස වසින්නේ යයි ඇමතියෝ කීහ. ඒ රජතුමා සිව්රඟ සෙනගින් හා බලයෙන් යුක්තය. මැඬලිය නොහැක්කේය. කෙසේ ඔහුගේ ඇතා ගෙන එන්නෙමු ද?”යි කීය. මහ රජ ඔහු හා යුධ කිරීමෙක් නැත. දානාධ්‍යාශයෙන් යුත් ඒ රජතුමා දානයෙහි ඇලුම් ඇත්තේය. ඉල්ලන ලද්දේ නම් සරසා පිළියෙළ කළ හිස වුවද කපා දෙන්නේය. ප්‍රසාදයෙන් යුත් ඇස් පවා උපුටා දෙන්නේය. සියලු රාජ්‍යය පවා පවරා දෙන්නේය. ඇතා ගැන කිවයුත්තක්ම නැත. ඒකාන්තයෙන් ඉල්ලන ලද්දේ නම් දෙන්නේ යයි කීහ. කවරෙක් වනාහි ඉල්ලීමට සමර්ථයෝ ද? මහරජ, බ්‍රාහ්මණයෝ යයි කීහ. රජතුමා බ්‍රාහ්මණයන් අට දෙනෙකු කැඳවා සත්කාර සම්මානකොට මග වියදම් දී ඇතා ඉල්ලීම සඳහා යැවීය. ඔවුහු සියලු තැන්හි එක් රැයක් බැගින් වසමින් ඉක්මන් ගමනින් ගොස් දින කීපයක් නගරදොරටුවෙහි දාන ශාලාවන්හි අනුභව කරන්නාහු ශරීරවිඩා සංසිඳවාගෙන රජතුමා දාන ශාලාවට එන මඟ එතුමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නැගෙනහිර දොරටුවෙහි සිටියහ.