1. අකීර්ති චරියා වර්ණනාව
මෙසේ භාග්යවතුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේට හා දෙවි මිනිසුන් සහිත පිරිසට තමන් වහන්සේගේ පෙර චරිතය ඇසීමෙහි උත්සාහ උපදවා දැන් ඒ භවාන්තරයෙන් වැසුණු පෙර චරිතය අත්ලෙහි නෙල්ලි ගෙඩියක් මෙන් ප්රත්යක්ෂ කරමින් ‘යදාඅහං බ්රහාරඤ්ඤෙ’ යනාදිය වදාළහ.
(3) යදා අහං බ්රහාරඤ්ඤෙ සුඤ්ඤෙ විපින කානනෙ
අජ්ඣො ගහෙත්වා විහරාමි අකිත්ති නාම තාපසො (චරියාපිටක)
අජ්ඣො ගහෙත්වා විහරාමි අකිත්ති නාම තාපසො (චරියාපිටක)
“යම් කලෙක්හි මම අකිත්ති නම් තාපසයෙක්ව ජනශුන්ය වූ විපින කානන නම් වූ මහ වනයෙහි ඇතුල් වී විසුයෙම් ද”
එහි ‘යදා’ යනු යම් කාලයෙක්හි, “බ්රහාරඤ්ඤෙ” යනු මහ අරණෙහි, අරණ්යානියේ, මහවනයෙහි යන අර්ථයයි. “සුඤ්ඤෙ” යනු ජනයාගෙන් තොරවූ, ‘විපින කානනෙ’ යනු කැලෑවක් වූ වනයක, වචන දෙකෙන්ම ඒ අරණෙහි (ගස්වැල් වලින්) ගහණ බවම පැවසේ. ඒ සියල්ලම “කාරදීපය” අරමුණු කොට කියන ලදී. “අජ්ඣො ගහෙත්වා” යනු ඇතුල් වී, ‘විහරාමි’ යනු දිව්ය, බ්රහ්ම, අරිය, ආනෙඤ්ජ යන විහරණයන්ගෙන් හටගත් සැප විශේෂයෙන් හා ඉරියාපථ විහරණයෙන් ශරීර දුක් සිඳ වසමි, ආත්මභාවය පවත්වමි, “අකිත්ති නාම තාපසො” යනු මෙනම් වූ තාපසයා වී යම් කලෙක්හි මම ඒ අරණෙහි වසම් ද යන අර්ථයයි. ශාස්තෲන් වහන්සේ එකල්හි තමන් වහන්සේගේ අකිත්ති තාපස’ බව ධර්ම සේනාපති සැරියුත් හිමියන්ට දේශනා කරති. මේ එහි අනුපිළිවෙළ කථාවයි.
අතීතයෙහි වනාහි මේ භද්රකල්පයෙහිම බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජු රාජ්යය කරවන කල්හි බෝසතාණෝ අසූකෙළක් සම්පත් ඇති බමුණු මහසල් කුලයක උපන්හ. ඔහු ‘අකිත්ති’ යයි නම් කළහ. ඔහු පිය නගා ඇවිදින කල්හි නැගණියක් උපන්නීය. ඇයට ‘යසවතී’ යයි නම් ඔහු සොළොස් වස් කල්හි තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප ඉගෙන ආපසු පැමිණියේය. ඉක්බිති ඔහුගේ මව්පියවරු කළුරිය කළහ. ඔහු ඔවුන්ගේ අවසන් කටයුතු කරවා දින කීපයකට පසු රන්රුවන් බැලීමෙහි නියුතු පුරුෂයන් විසින් “මෙතෙක් ධනය ඔබවහන්සේගේ මව සතුය. මෙතෙක් ධනය පියා සතුය. මෙතෙක් ධනය මුත්තණුවන් (සීයා) සතුයයි කියන ලද වචනය අසා කළකිරුණු සිත් ඇත්තේ “මෙහි ධනය පමණක් පෙනෙන්නේය. ධනය රැස් කළවුන් පෙනෙන්නට නැත. සියල්ලෝම ධනය හැර පරලොව ගියාහුය. මම වනාහි ධනය රැගෙන යන්නෙමි”යි රජුගෙන් විමසා “ධනයෙන් ප්රයෝජන ඇත්තෝ අකිත්ති පණ්ඩිතයාණන්ගේ නිවසට යෙත්වායි බෙර හැසිරවීය.
හෙතෙම සත් දිනක් මහදන් පවත්වා ධනය අවසන් නොවන කල්හි “මට මේ ධන ක්රීඩාවෙන් කවර ප්රයෝජනයක් ද? ධනයෙන් ප්රයෝජන ඇත්තෝ ගනිත්වා”යි නිවසෙහි දොර අරවා රන් රුවන් ආදියෙන් පිරුණු ගබඩා විවර කරවා” මා විසින් (මේ ධනය) දෙන ලද්දේය, ප්රයෝජන ඇත්තෝ ගෙන යෙත්වා”යි ගිහිගේ හැර ඥාතිසමූහයා හඬද්දී බරණැසින් නික්ම ගඟින් එතරව දෙතුන් යොදුනක් ගොස් පැවිදිව සිත්කලු භූමිභාගයක පන්සලක් කොටගෙන වසයි. ඔහු යම් දොරටුවකින් එදින නික්මුණේද එම දොරටුව “අකිත්ති තිත්ථ” නම් විය. හෙතෙම පැවිදි වූ බව අසා ගම් නියම් ගම් රාජධානිවාසී බොහෝ මිනිස්සු උන්වහන්සේගේ ගුණයෙන් ආකර්ෂණය කෙරෙන හදවත් ඇත්තාහු එතුමන් අනුව පැවිදි වූහ. මහත් පිරිවර ඇතිවිය. මහත් ලාභ සත්කාර උපන්නේය. බුද්ධෝත්පාද කාලයක් මෙන් විය. ඉක්බිති මහාසත්ත්වයන් වහන්සේ “මේ ලාභසත්කාර මහත් ය. පිරිවරද මහත් ය. කාය විවේක මාත්රයක්වත් මෙහි නොලැබේ. ම විසින් හුදෙකලාව විසීම වටීයයි සිතා පරම අල්පේච්ඡභාවයෙන් ද විවේකයට නැමුණු සිතින් ද යුක්ත බැවින් කිසිවෙකුට නොදන්වා හුදෙකලාව නික්ම පිළිවෙළින් දෙමළ රටට පැමිණ කාවීර පටුන සමීපයෙහි උයනෙහි වසන්නාහු ධ්යාන අභිඥා ඉපිද වූහ. එහිදී ද උන්වහන්සේට මහත් වූ ලාභ සත්කාර උපන්නේ ය. උන්වහන්සේ එය පිළිකුල් කරමින් හැරදමා අහසින් ගොස් කාර දිවයිනට බැස්සහ. එකල්හි කාර දිවයින අහිදීප නම් විය. උන්වහන්සේ එහි මහත් වූ කර ගසක් ඇසුරු කොට පන්සලක් මවා වාසය කළහ. අල්පේච්ඡ බව නිසා කිසිතැනක නොගොස් එම ගස ඵලගත් විට ඵල අනුභව කරමින්ද, ඵල නොමැති විට කොළ දියවත්කොට පිස අනුභව කරමින් ද ධ්යාන සමාපත්තියෙන් කල් යවති.