6. සොභිත බුද්ධවංස වර්ණනාව
උන්වහන්සේට මෑත භාගයෙහි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු සෝභිත නම් බෝසත්හු සාරාසංඛ්‍ය කප්ලක්ෂයක් පැරුම් පුරා තුසීපුර ඉපිද ආයු තාක් වැස දේවායාචනයෙන් තුසීපුරෙන් චුතව සුධම්ම නුවර සුධම්ම රජුගේ සුධම්මා බිසෝකුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් සුධම්ම උයන්හි මේඝපටලයකින් පුන්සඳ මෙන් බිහිවූහ. උන්වහන්සේගේ පිළිසිඳ ගැනීමෙහි උපතෙහි පෙළහර කී අයුරුමැයි.
දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස සැත්තෑ දහසක් නළඟනන්ට නායක අගමෙහෙසි මඛිලා දේවිය කුස සීහ නම් කුමරු උපන් කල්හි සතර නිමිති දැක සංවේගයට පැමිණ මාලිගයෙහිදීම පැවිදිව එහිම ආනාපාන සති සමාධිය වඩා සතර දැහැන් ලබා සතියක් එහිම ප්‍රධන් වැඩූහ. ඉක්බිති මඛිලා දේවිය පිදූ පරම මිහිරි මීකිරිබත් වළඳා අබිනික්මනට සිත් ඉපදවූහ. මේ සරසා පිළියෙල කළ පහය මහපොළොවට බසීවා. මේ ස්ත්‍රීහු ද මා බෝමුල්හි හුන් පසු නොකියා තුමූම පහයෙන් නික්මෙත්වා කියායි. සිතත් සමගම උන්වහන්සේගේ සුධම්ම රජමාලිගය එතැනින් උඩ නැගී සුනිල් අඳුන් බඳු අහසට නැග්ගේය. එය ගුවන්තල බබුළුවමින් රන්රස දහරා සම සොඳුරු රස්දහරා යුත් දිවාකරයා මෙන් ද සරාසමයෙහි සඳමඬල මෙන් ද ඒ සුවඳ කුසුමදාමයෙන් සරසන ලද ප්‍රාසාදය බබළමින් වාතයෙන් කම්පිතව කුසලජන වාදික පසඟතුරු ගොස මෙන් මිහිරි රමණීය කමනීය නද දෙන දැලි එල්බෙන කිකිණිදැලින් ද ශෝභමාන විය.
දුර පටන් ඇසෙන මිහිරි සරින් සත් සවන් ඇද ගනිමින් ගෙවල් සිවුරැස් සතරමං සන්ධි වීථින්හි සිටි මිනිසුන්ගේ අල්ලාප සල්ලාපයට බඳුන් වෙමින් දුර අහසෙහි පොළඹවමින් මෙන් තුරුසා නානා රත්න කාන්ති ධාරායෙන් බබුළුවන වර්ණයෙන් ජනනුවන් අදිනු ලබන්නාක් මෙන් පින් අනුහස් කියාපාන්නාක් මෙන් අහසට පිළිපන්නෝය. නාටිකාංගනාවෝ ද පසඟතුරු ද මිහිරි සරින් ගායනා කළහ. රැව් දුන්නේය. සිවුරඟ සෙනඟද අලංකාර කායාභරණ කාන්තියෙන් හටගත් බැබළීමෙන් නන් පැහැ සුවඳ සළුබරණින් ශෝභමාන උතුම් දිව්‍ය සේනාවක් මෙන් සොඳුරු දසුනින් පොළවෙහි මෙන් ගුවනින් පහය පිරිවරා ගියහ.
එතැනින් ගොස් ප්‍රාසාදය අටඅසූ රියන් උස් සෘජු මහත් වට කඳමල් පඳු කැකුළින් සුසැදි නාරුක මැදිකොට බැස බිම පිහිටියේය. නළුගෑණු ද කිසිවෙකුත් නොකියාම ඒ පහයෙන් බැස ගියහ. අනේකගුණ සෝභිත සෝභිත මහාපුරුෂයාණෝ මහජනයා විසින් පිරිවරන ලද්දාහුම රෑ තුන්යම ත්‍රිවිද්‍යාව ඉපදවූහ. උන්වහන්සේගේ බලසේනා ධර්මතා විසින් ආ පරිදිම ගියහ. ප්‍රාසාදය එහිම සිටියේය. සෝභිත බුදුහු බුදුව ධර්මාරාධනය ප්‍රතිඥා කොට කාහට පළමු දහම් දෙසන්නෙම්දැයි බලන්නාහු සිය සුළුමව පුත් බාලසොහොයුරු අසම කුමාර සුනෙත්තකුමාර ද දැක මේ හේතුසම්පත් ඇති දෙකුමරහු ගැඹුරු නිපුණ දහම අවබෝධ කිරිමට සමත් වෙති. මම මොවුන්ට පළමු දහම දෙසන්නෙම් නම් මැනවැයි අහසින් වැඩ සුධම්ම උයන්හි බැස උයන්පල්ලා ලවා දෙකුමරුන් කැඳවා පරිවාරය සමග ඔවුන් පිරිවරා මහජනකාය මධ්‍යයෙහි ධර්මචක්රප්රවර්තනය කළ සේක. එයින් කියන ලදි-