බුද්ධවංශ අටුවාව
ගන්ථාරම්භ කථා
අනන්තඤාණ වූ කරුණා නිවාස වූ කෙලෙස්මලට ප්‍රලය වූ සුසමාහිත වූ ලෝකහිත වූ බුදුරජාණන් වහන්සේට, උතුම් වූ සසර සංවර කාරක වූ ධර්මයට, ගුණසාර වූ, කෙලෙස් අංගණ රහිත වූ සංඝ සමූහයාට නමස්කාර කරමි.
ජිනශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ වූ දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ ධර්මරාජ වූ නිරංගණ වූ නිවන් පරතෙරට පත් ශාස්තෘන් වහන්සේගේන් නෑ සමූහයා මැද යමක් විමසූ සේක්ද,
විශුද්ධවංශ ඇති මනා බුද්ධවංශයෙන් පැමිණි කෙලෙස් අවකාශ නැසූ විනායක වූ බුදුකුරු දහම් සපුරන ලද තථාගතයන් වහන්සේ විසින් ඒ බුද්ධවංසය දේශනා කරන ලදි.
(එය) අද දක්වා පාළි ක්‍රමය මෙන්ම පාළි අර්ථයක් කථානුසන්‍ධියත් නොනසා තථාගත පුත්‍රයන් වහන්සේලා ඇසූ පරිද්දෙන්ම පවත්වාගෙන ආහ.
හැමදා ජනයාට කර්ණාමෘත වූ ශ්‍රද්ධා ප්‍රඥා උපදවන්නා වූ සංවර්ණනා පිළිවෙළින් පවත්නා වූ ඒ බුද්ධවංසයෙහි අර්ථ වර්ණානය මැනවින් සද්ධර්මයෙහි ඇලුණා වූ සීලාදි ගුණයෙන් උතුම් වූ බුද්ධසීහ තෙරුන් විසින් බොහෝකල් අයදනා ලද මම ආරම්භ කරමි.
සදාකල්හි ජනයාගේ කෙලෙස් කිලිටි නසන බුදුසසුන්හි චිරස්ථතිය පිණිස ද මාගේ පුණ්‍යභිවෘද්ධිය පිණිස ද ජනයාගේ ප්‍රසාදය සඳහා ද මහාවිහාරයෙහි ආ පාළි මාර්ගය ඇසුරු කළ සංකර දොසින් තොර මේ බුද්ධවංශ වර්ණනය සාරවත් ද සංක්‍ෂිප්ත ද වෙයි.
මෙහි ඇසිය යුතු බුද්ධවංස කථාවට වැඩි යමක් මෙහි නැති හෙයින් බුදුගුණය අඳුනවුන්ගේ පැහැදීමත් මහපව්මග දුරුකිරීමත් වන්නේද එහෙයින් මනා එකඟ සිතින් යුතුව වික්ෂේප දුරැර අනන්‍ය සිතින් මනාව වර්ණනය කරන බුද්ධවංශ වර්ණනය කන්යොමා මිහිරිකොට අසව්.
අන් සියලු කටයුතු අතහැර මෙලොව පුද්ගලයා විසින් මැනවින් සදාකල්හි බුද්ධියෙන් යුතුව මේ අතිදුර්ලභ මේ කථාව ඇසීමටත් කීමටත් සුදුසු වෙයි.
එහි “බුද්ධවංස සංචණණනා භෙස්සති සාරභූතායි” කී හෙයින් පළමුව බුද්ධවංස බෙදා දැක්විය යුතුය. එහි මේ ව්‍යවස්ථාපනයයි. මෙයින් යට කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති සාරාසංඛ්‍යයෙක්හි උපන් පස්විසි බුදුවරුන්ගේ උපන් කල්ප ආදි පරිච්ඡේද වශයෙන් පරම්පරා විස්තර කථාව බුද්ධවංසය නමැයි දතයුතු.
ඒ මේ කල්ප පරිච්ඡේදය නාම පරිච්ඡේදය, ගොත්ත පරිච්ඡේදය, ජාති පරිච්ඡේදය, නගර පරිච්ඡේදය, පීතෘ පරිච්ඡේදය, මාතෘ පරිච්ඡේදය, බෝධි පරිච්ඡේදය, ධම්මචක්කපවත්තන පරිච්ඡේදය, අභිසමය පරිච්ඡේදය, ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදය, අග්‍රශ්‍රාවක පරිච්ඡේදය, උපස්ථායක පරිච්ඡේදය, අග්‍රශ්‍රාවිකා පරිච්ඡේදය, පරිවාරභික්‍ෂු පරිච්ඡේදය, රශ්මි පරිච්ඡේදය, ශරීරප්‍රමාණ පරිච්ඡේදය, බෝධිසත්වාධිකාර පරිච්ඡේදය, ව්‍යාකරණ පරිච්ඡේදය, බෝධිසත්ත්වයන්ගේ ප්‍රධන් පරිච්ඡේදය, ආයු පරිච්ඡේදය, පරිනිර්වාණ පරිච්ඡේදයයි මෙසේ පාළියෙහි ආ දෙවිසි පරිච්ඡේදයකින් පිරිසිඳ දක්වන ලදි.
පෙළට නොනඟන ලද වාරයන් ද මෙහිලා දැක්විය යුතුය. එය අගාරවාස පරිච්ඡේදය, ප්‍රාසාදත්‍රය පරිච්ඡේදය, නාටක ස්ත්‍රී පරිච්ඡේදය, අග්‍රමහේෂි පරිච්ඡේදය, පුත්‍ර පරිච්ඡේදය, යාන පරිච්ඡේදය, අභිනිෂ්ක්‍රමණ පරිච්ඡේදය, ප්‍රධන් පරිච්ඡේදය, උපස්ථායක පරිච්ඡේදය, විහාර පරිච්ඡේදයයි දස ආකාරයෙන් වෙන් කරන ලද්දේ වෙයි.
ඒ සම්බහුල වාරය ද අපි යථාස්ථානයෙහි ඒ ඒ තැන කෙටියෙන් දක්වමින්ම වර්ණනා කරමු.
මෙසේ බෙදා දැක්වූ එය වනාහි:-
මෙය කවරෙකු විසින් දෙසන ලදද? කොහිදී කවුරුන් සඳහා දෙසන ලදද? කවර අර්ථයක් සඳහා දෙසන ලදද? කවදා දෙසන ලදද? කාගේ වචනයක්ද? කවරකු විසින් ගෙන එන ලදද?
පළමුව මේ සියලු විධි කෙටියෙන් කියා පසුව මම බුද්ධවංස අර්ථ වර්ණනාව කරන්නෙමි.
එහි කෙනායා දෙසිතො යනු; මේ බුද්ධවංසය කවරකු විසින් දෙසන ලදද? සියලු ධර්මයන්හි අප්‍රතිහතඥාන හැසිරීම් ඇති දසබල චතුර්වෛශාරද්‍ය විශාරද ධර්මරාජ ධර්මස්වාමී තථාගත සර්වඥ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලදි.
කත්‍ථ දෙසිතො යනු; කපිලවස්තු මහා නගරයෙහි න්‍යග්‍රොධාරාම මහා විහාරයෙහි පරම සුන්දර දැකුම්කළු දෙවිමිනිසුන් ඇසට යොමුවූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදි.
කස්සත්‍ථාය ච දෙසිතො යනු; දෙයාසූ දහසක් ඤාතීන්ට ද නොඑක් කෙළගණන් දෙවියන්ට ද වැඩ පිණිස දෙසන ලදි.
කිමත්‍ථාය දෙසිතො යනු; [missing trans]
කදා දෙසිතො යනු; භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රථම බෝධියෙහි විසිවසක් නේවාසිකව යම් යම් තැනෙක පහසු ඇත්තේ ද ඒ ඒ තන්හි ගොස් විසූහ. කෙසේ ද? පළමු වස ඉසිපතනයෙහි ධම්සක් පවත්වා අටළොස් කෙළක් බඹුන් අමාපැන් පොවා බරණැස සමීපයෙහි ඉසිපතන මිගදායෙහි විසූහ. දෙවන වස රජගහ නුවර සමීපයෙහි වේළුවන මහා විහාරයෙහි ය. තෙවන සිවුවන වස් ද එහිමය. පස්වැන්න විසාලාව සමීපයෙහි මහාවන කුටාගාර ශාලාවෙහි ය. සවැන්න මකුල පර්වතයෙහි ය. සත්වැන්න තව්තිසා භවනයෙහි ය. අටවැන්න භගුරට සුංසුමාරගිර අසල භේසකලා වනයෙහි ය. නවවැන්න කෝසම්බියෙහි ය. දසවැන්න පාරිලෙය්‍ය වනළැහැබෙහිය. එකොළොස්-වැන්න නාලා බමුණු ගමෙහි ය. දොළොස්වැන්න වෙරඤ්ජාවෙහි ය. තෙලෙස්වැන්න චාලිය පර්වතයෙහි ය. තුදුස්වැන්න ජේතවන මහාවිහාරයෙහි ය. පසළොස්වැන්න කිඹුල්වත් මහනුවර ය. සොළොස්වන ආළවක දමනය කොට අසූහාරදහසක් ප්‍රාණීන් අමාපැන් පොවා අළව්නුවර ය. සතළොස් වැන්න රජගහ නුවරම ය. අටළොස් වැන්න චාළිය පර්වතයෙහිය. එසේම එකුන්විසිවැන්න ද එසේමය. විසිවැන්න වනාහි රජගහ නුවරම විසූහ. එහෙයින් කියන ලදි: “භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම බෝධියෙහි විසිවසක් අනිබද්ධවාසව යම් යම් තැන පහසුද ඒ ඒ තැන ගොස් විසූහයි.” එතැන් පටන් වනාහි සැවැත් නුවර ඇසුරෙහිම ජේතවන මහාවිහාරයෙහි ද පූර්වාරාමයෙහි ද නිත්‍ය පරිභෝග වසයෙන් විසූ සේක.