5. රෙවත බුද්ධවංස වර්ණනාව
සුමන භාග්‍යවතුන් වහන්සේට පසුකාලයෙහි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු අනූදහසක් අවුරුදු ආයු වූ මිනිස්සු ක්‍රමයෙන් පිරිහී දස හැවිරිදිව නැවත ක්‍රමයෙන් වැඩී අසංඛ්‍යායුෂ්කව නැවත පිරිහෙන්නාහු හැටදහස් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල රේවත නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේද පැරුම් පුරා නන් රුවනින් බබළන තුසිත භවනයෙහි ඉපිද ඉන් සැව සකලධනධාන්‍යවත් සුඛඤ්ඤවතී නුවර සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් රජකුල සියලු දනනුවන් බඹරකැල ගැවසි සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකර ශෝභා ඇති. රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නම් අගමෙහෙසි කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් සිකුකළු පව්වෙන් බස්නා රනහස් රජකු මෙන් මවුකුසින් බිහිවූහ.
උන්වහන්සේ පිළිසිඳ ගැනීමෙහි බිහිවීමෙහි ප්‍රාතිහාර්යය පෙර කී පරිද්දෙන් සිදුවිය. සුදස්සන රත්නග්ඝි ආවෙල නම් තුන් පහයක් විය. සුදස්සනා දේවිය ප්‍රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු ප්‍රත්‍යුපස්ථාන කළහ. ඔවුන් විසින් පිරිවරන ලද උන්වහන්සේ සුරයුවතීන් පිරිවර කළ දෙව්කුමරකු මෙන් සදහසක් හවුරුදු විෂයරස විඳිමින් ගිහිගෙයි විසූහ. සුදස්සනා දේවියට වරුණ නම් පුතු උපන් කල්හි උන්වහන්සේ සතර නිමිති දැක නන්පැහැ උතුම්සළු හැඳ මුතුහර මිණිකොඩොල් පැළඳ උතුම් කෙයූර මකුට කටක ධරව පරම සුවඳ කුසුමින් සැරසී පරමරූසිරු රස් සමූහයෙන් යුත් සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්‍ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ හාරිත මහබඹු මෙන් මහත් සිවුරඟයෙන් පිරිවරා ආජන්‍යරථයෙන් මහබිනික්මන් කොට සියලු අබරණ මුදා භාණ්ඩාගාරිකයා අතට දී ජලජ අමල අවිකල නිල්මහනෙල් පෙතිවන් සියුම් මුවහත් ඇති තියුණු කඩුවෙන් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූහ. සක්දෙව්රජ එය රන්කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනයට ගෙන ගොස් සිනෙරු මුදුනෙහි සත්රුවන්මුවා සෑයක් කළේය.
මහපුරිස්හු දෙවියන් දුන් කසාවත් හැඳ පැවිදිවූහ. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා සත්වසක් ප්‍රධන් වඩා වෙසක් පුන් පොහෝදින සාධුදේවී නම් එක් සිටු දියණියක පිදූ මී කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්හි වරුණින්ධර ආජීවකයන් දෙන ලද අටතණමිට ගෙන මතැත් ගමනින් තාරුක් බෝධිය පැදකුණු කොට තෙපනස් රියන් කොට තණ අතුරා චතුරංගවීර්යය ඉටා මාර බල නසා සර්වඥතාඥානය ප්‍රතිවේධ කොට අනේකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කීය.
සුමනස්ස අපරෙන රෙවතො නාම නායකො
අනුපමො අසදිසො අතුලො උත්තමො ජිනො
රේවත ශාස්තෘන් වහන්සේ බෝධිසමීපයෙහිම සත්සති ගෙවා ධර්මදේශනය පිණිස බ්‍රහ්මයාචනය පිළිගෙන මම කාහට පළමුව දහම් දෙසන්නෙම්දැයි බලනසේක් තමන් වහන්සේ සමග පැවිදි වූ කෝටියක් භික්‍ෂූන් ද හේතුසම්පත් ඇති වෙනත් දෙවි මිනිසුන් ද දැක අහසින් අවුත් වරුණ රාමයෙහි බැස ඔවුන් පිරිවරා බොහෝ පෙළහර දක්වමින් ගැඹුරු නිපුණ අනිකකු විසින් නොපැවැත්විය හැකි තිපරිවට්ට අනුත්තර ධර්මචක්‍රය පවත්වා කෙළක් භික්‍ෂූන් අර්හත්වයෙහි පිහිටවූ සේක. තුන් පලයෙහි පිහිටියවුන්ගේ ගණන හිම් නැත. එයින් කියන ලදි-
සොපි ධම්මං පකාසෙති බ්‍රහ්මුණා අභියාචිකො
ඛන්‍ධධාතුවවත්‍ථානං අප්පවත්තං භවාභවෙති
එහි ඛන්‍ධධාතුවවත්‍ථානං යනු; පංච ස්කන්‍ධයන්ගේ අටළොස් ධාතූන්ගේ නාම රූප ව්‍යවස්ථාපනාදි වශයෙන් බෙදා දැක්වීම, ස්වභාව ලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණාදි වශයෙන් රූපාරූප ධර්මයන්ගේ විමසීම ඛන්‍ධධාතුවවත්‍ථාන නමි. පරිමර්දන අසහන වශයෙන් රූපය පෙනපිඬක් බඳුය. කැඩීබිඳී යන බැවින් දියබුබුළක් මෙනැයිද වේදනාව මොහොතක රමණීය භාවයෙන් මිරිඟුවක් මෙනැයි ද සංඥාව විපුලම්භූනයෙන් කෙසෙල්කඳක් මෙන් සංස්කාර අසාර හෙයින් මායා වංචනික බැවින් විඤ්ඤාණය මායාවක් මෙනැයිද මේ ආදි ක්‍රමයෙන් අනිච්චානුපස්සනාදි වශයෙන්ද ස්කන්‍ධ ධාතු විමසීම දතයුතුය. අප්පවත්තං භවාභවෙ යනුඳු මෙහි භව යනු වෘද්ධියයි. අභව යනු හානියයි. භව යනු සාශ්වත දෘෂ්ටියයි. අභව යනු උච්ඡේද දෘෂ්ටියයි. භව යනු කුඩා බවයි. අභව යනු මහත් බවයි. භව යනු කාම භවයයි. අභව යනු රූප අරූප බවයි. මේ ක්‍රමයෙන් භව අභවයන්ගේ අර්ථය දතයුතුයි. ඒ භව අභවයන්ගේ නොපැවැත්මට හේතුභූත වූ ධර්මය දේශනා කළහ යන අර්ථයි. නැතහොත් මෙයින් සිදුවේනුයි භවයි. තුන් භවයෙහි උත්පත්ති නිමිත්ත වූ කර්මාදිය භවයයි. අභව නම් දෙලොව තණ්හාව ප්‍රහීණ කරන පැවැත්ම නැති කරන ධර්මය දෙසූහ යන අර්ථයි. ඒ රේවත බුදුන්ගේ අභිසමය තුනෙක් විය. පළමුවැන්නෙහි ගණන සීමාව ඉක්මිණ. එයින් කියන ලදි-