4. සුමන බුද්ධවංස වර්ණනාව
මෙසේ එක්වරම දසසහස්‍රී ලෝකධාතුව ඒකාන්ධකාර කොට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු කාලයෙහි අනූදහස් ආයු ඇති මිනිසුන් අනුක්රමයෙන් පිරිහී දසමස වූ කල අන්තර කල්ප ඉක්ම ගිය කල්හි අසංඛ්යායුෂ්කව නැවත පිරිහී අනූදහස් වූ පසු සුමන නම් බෝසත්හු පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව මේඛල නුවර සුදත්ත නම් රජකුල සිරිමා නම් මෙහෙසි කුස පිළිසිඳ ගත්හ. පෙළහර පෙර කී පරිදිය.
උන්වහන්සේ කෙමෙන් විය පැමිණ නාරිවඩ්ඪන සොමවඩ්ඪන ඉද්ධිවඩ්ඪන නමැති තුන්පහයෙහි තෙසැට දහසක් නළඟනන් විසින් උපහාර ලබමින් සුරයුවතීන් පිරිවරන ලද සුරකුමරකු මෙන් දහසක් විෂයරස විඳිමින් වටංසිකා නම් දේවිය අනූපම නම් නිරුපම පුතු වැදූ කල සතර නිමිති දැක ඇත් යානයෙන් නික්ම පැවිදි වූහ. පැවිදි වන උන්වහන්සේ අනුව තිස්කෙළක් පැවිදි වූහ.
උන්වහන්සේ ඔවුන් පිරිවරා දසමසක් ප්‍රධන්හි හැසිර වෙසක් පොහෝදින අනෝම නිගමයෙහි අනූපම සිටුදූ අනුපමා විසින් පිදූ දිවඕජා බහාලූ කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර ගෙවා අනුපම ආජීවකයන් දුන් අට තණමිට ගෙන නාගබෝධිය වෙත පැමිණ පැදකුණු කොට අටතණ මිට තිස්රියන් කොට අතුට එහි පලක් බැඳ වැඩහුන්හ. අනතුරුව මරබල නසා සර්වඥතාඥානය ලබා අනෙකජාති සංසාරං -පෙ- යි උදන් ඇනූහ. එයින් කියන ලදි-
මංගලස්ස අපරෙන සුමනො නාම නායකො
සබ්බධම්මෙහි අසමො සබ්බසත්තානමුත්තමොති
සබ්බධම්මෙහි අසමො සබ්බසත්තානමුත්තමොති
එහි මංගලස්ස අපරෙන යනු; මංගල බුදුන්ට පසුකල සබ්බ ධම්මෙහි අසමො යනු; සියලු ශීල සමාධි ප්‍රඥා ධර්මයන්හි. අසමො අසම වූ.
සුමන භාග්‍යවතුන් වහන්සේ බෝධි සමීපයෙහිම සත්සතිය ගෙවා දහම් දෙසීම පිණිස බඹ අයැදුම පිළිගෙන මම කාට පළමු දහම් දෙසන්නෙම්දැයි සිතන්නාහු තමන් සමඟ පැවිදි වූ තිස්කෙළ ද සුළුමෑණි පුත් බාලසහෝදර සරණ කුමරුන් ද පුරෝහිත පුත් භාමිත තරුණයාද හේතුසම්පන්න බැව් දැන මොවුන්ට පළමු බණ දෙසමියි සිතා හස් රජකු මෙන් අහසින් ගොස් මේඛලා උයන්හි බැස උයන්පලු යවා සිය බාල සොයුරු සරණ කුමරු ද පුරෝහිත පුත් භාමිත කුමරු ද කැඳවා ඔවුන්ගේ පිරිවර සතිස් කෙළක් ද තමන්ගේ සහ පැවිද්දන් තිස් කෙළක් ද තවත් බොහෝ කෙළගණන් දෙවිමිනිසුන්ද දම්සක් පැවැත්වීමෙන් දහම් අමාපැන් පෙවූහ. එයින් කියන ලදී-
සොපි තදා අමතභෙරිං අහනී මෙඛලෙ පුරෙ
ධම්මසංඛසමායුත්තං නවංගං ජිනසාසනන්ති
ධම්මසංඛසමායුත්තං නවංගං ජිනසාසනන්ති