3. මංගල බුද්ධවංස වර්ණනාව
කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ලක්ෂයක් අවුරුදු පැවැත්තේය. බුද්ධ අනුබුද්ධ ශ්රාවකයන්ගේ අතුරුදන් වීමෙන් උන්වහන්සේගේ සසුන අතුරුදහන් විය. කොණ්ඩඤ්ඤ බුදුන්ට පසුකාලයෙහි එක් අසංඛ්ය කපක් ගෙවී එකම කපක සතර බුදු කෙනෙක් උපන්හ. මංගල සුමන රේවත සෝභිත කියායි. එහි මංගල ලෝකනායකයාණෝ කප්ලක්ෂයක් අධික සොළසාසංඛ්යයක් පාරමී පුරා තුසීපුර ඉපිද එහි ආයු තාක් සිට පස්පෙරනිමිති උපන්කල බුද්ධ කෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. එකල්හි දසදහසක් සක්වළ දෙවියෝ රැස්ව ...
මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මව්කුස උපත මැනව. දෙවියන් සහිත ලෝකයා එතෙර කරවමින් අමා පදය අවබෝධ කරනු මැනව කියා ආයාචනා කරති.
මෙසේ අයදනා ලදුව පස්මහ බැලුම් ඇතිව තුසීපුරෙන් සැව හැමනුවරින් උතුරු උතුරු නුවර අනුත්තර උතුරු නම් නිරිඳුකුල උතුරු නම් මෙහෙසි කුස පිළිසිඳ ගත්හ. එකල නන් පෙළහර පහළවිය. ඒවා දීපංකර බුද්ධවංසයෙහි කී නියායෙන් දතයුතු. සකලලෝක මංගල මහසතුන් උත්තරා මෙහෙසි කුස පිළිසිඳ ගැනීමෙහි පටන් දිවා රෑ ශරීරාලෝකය අසූරියන් පමණ තැන් පැතිර සඳ එළියෙන්, ඉරු එළියෙන් නොමැඩිය හැකි සේ සිටියේය. ඕ තොමෝ ද අන් ආලෝකයක් නැතිව ශරීරාලෝකයෙන්ම අඳුරු දුරු කොට අටසැටක් කිරිමවුන් විසින් උවටැන් කරන ලද්දී වාසය කළාය.
දෙවි රැකවරණ ලද ඕතොමෝ දසමස් ගෙවීමෙන් උත්තරමධුර උයන්හි මංගල මහපුරිස් ප්රසූත කළාය. ඒ මහපුරුෂයාණෝ උපන් කෙණෙහිම සියලු දික් බලා උත්තර දිශාභිමුඛව සත් පියවරින් ගොස් අභීතනාද කළහ. එකෙණෙහි සියලු දසදහසක් ලෝවාසි දෙවියෝ දෘශ්යමාන සිරුරින් දිවමල් ආදියෙන් සැරහී එහි සිට මඟුල් තුති වදන් පැවැත්වූහ. පෙළහරද කී පරිදිමය. උන්වහන්සේට නම් තබන දිනයෙහි ලකුණු කියන්නෝ සියලු මඟුල් සම්පත් හටගත්තේ යයි මංගල කුමාර කියාම නම් කළහ.
උන්වහන්සේට යස වා සුචිමා සිරිමා නම් තුන් පහයක් විය. යසවතී දේවිය ප්රමුඛ තිස්දහසක් නළඟනෝ වූහ. මහසත්හු එහි නවදහසක් හවුරුදු දෙව්සැප බඳු සැපවිඳිමින් යසවතී අගමෙහෙසිය කුස සීලව නම් පුතු ලැබ සතර නිමිති දැක සැරසූ පඩෙර නම් චරතුරඟු නැඟී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. පැවිදිවන උන්වහන්සේ අනුව තෙකෙළක් මිනිස්සු පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහපුරුෂයාණෝ අටමසක් වීර්යයෙහි යෙදී
ඉක්බිති වෙසක් පසළොස්වක් දින උත්තරගම උත්තර සිටුහුගේ දූ උත්තරා දුන් දිවඕජා බහාලූ මී කිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර ගෙවා උත්තර ආජීවක දුන් අට තණමිට ගෙන මතැත් ගමනින් නාබෝධිය පැදකුණු කොට ගිනිකොණ සිට අටපනස් රියන් තණ ඇතිරි අතුරා එහි පර්යංකය වැළඳ චතුරංගසමන්නාගත වීර්යය ඉටා සබල මාරබල විධමා පුබ්බෙනිවාස දිබ්බචක්ඛු ඤාණ ලබා ප්රත්යයාකාර මෙනෙහි කිරිම්කොට ස්කන්ධයන්හි අනිත්යාදීන් පිවිස අනුක්රමයෙන් අභිසම්බෝධියට පැමිණ ...