ඉක්බිති මංගල ලෝකනාථයාණෝ මේඛල නුවර වසන්නාහු දසදහසක් තරුණයන් පිරිවැරූ සුදේවද ධම්මසේනද බුදුන් වෙත ඒහි භික්‍ෂු පැවිද්දෙන් පැවිදි වූහ. මැදින් පුන් පොහෝ දින පිරිවර සහිත දෑගසව්වන් රහත් වූ කල භාග්‍යවතුන් වහන්සේ කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් මධ්‍යයෙහි පාමොක් දෙසූහ. මේ දෙවන සන්නිපාතය විය. සුනන්‍ද සක්විති සමාගමයෙහි අනූකෝටිලක්‍ෂයක් භික්‍ෂූන් මැද පාමොක් උදෙසූහ. මෙය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
සන්නිපාතා තයො ආසුං මංගලස්ස මහෙසිනො
කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො
දුතියො කොටිසහස්සානං තතියො නවුතිකොටියො
ඛීණාසවානං විමලානං තදා ආසි සමාගමො
එකල අප බෝසත්හු සුරුචි බමුණුගම සුරුචි බමුණුගම නිඝණ්ඩු කේටුභ සහිත ත්‍රිවේද පාරගත ඉතිහාසය පස්වනු කොට ඇති අක්‍ෂරභේද සහිත පද දත් වියරණ දත් ලෝකායන මහාපුරුෂ ලක්‍ෂණයන්හි අද්විතීය වූ. හෙතෙම බුදුන් කරා එළඹ බණ අසා පැහැද සරණ පිහිටා හෙට මාගේ දානය පිළිගනු මැනවැයි සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේය. බමුණ, කෙතෙක් භික්‍ෂූන් දැයි උන්වහන්සේ විසින් විමසන ලද හෙතෙම ස්වාමීනි, ශ්‍රාවක පිරිස කොපමණදැයි විචාළේය. එවිට ප්‍රථම සන්නිපාතය සිදුවූයේ විය. එහෙයින් කෙළ ලක්‍ෂයකැයි වදාළහ. එසේ නම් ස්වාමීනි, සියලු භික්‍ෂූන් සමග මාගේ දානය පිළිගනු මැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන් වහන්සේ පිළිගත්හ.
බමුණ සෙටට බුදුරදුන්ට ආරාධනා කොට ගෙට යන්නේ මෙසේ සිතීය. මම මෙතෙක් භික්‍ෂූන්ට කැඳබත් දීමට සමත් වෙමි. හිඳිනා තැන් කෙසේද කියායි. ඔහුගේ එම සිතුවිල්ල අසූසාර දහසක් යොදුන් මෙරමත ඇති දහසක් නුවන් ඇති සක්දෙව් රජුගේ පඬුඇඹුල්සල අසුන උණුසුම් විය. සක්දෙව් රජ අසුනෙහි උණුසුම් බව දැක කවරෙක් නම් මා මෙතනින් පහකරනු කැමැත්තේදැයි සිතන්නේ දිවැසින් මිනිස් ලොව බලා මහාපුරුෂයන් දැක මේ මහාපුරුෂයාණෝ බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ආරාධනා කොට හිඳිනා තැන් සිතති. මා ද එහි ගොස් පින් කොටසක් ගැනීම වටනේ යයි වඩු වෙසක් මවාගෙන නෑ පොරෝ ගත් අතැතිව මහසතුන් ඉදිරියෙහි පෙනී සිටියේය. හෙතෙම කාගේ හෝ බැළ සඳහා වඩුවැඩක් ඇද්දැයි විමසීය.
මා දන්නා යම් යම් ශිල්පයකැයි නැත. යමෙක් යමෙක් යමක් යමක් කැමති වෙයිද මණ්ඩපයක් හෝ ප්‍රාසාදයක් හෝ වෙන කිසියම් නිවාසයක් හෝ කැමති වෙයිද ඔහුගේ ඒ ඒ කටයුත්ත කිරීමට සමත් වෙමියි කීය. එසේ නම් මාගේ වැඩක් තිබේ. ආර්යය කුමක්ද? හෙට දිනට කෙළලක්‍ෂයක් භික්‍ෂූන්ට ආරාධනා කළෙමි. උන්වහන්සේලාට හිඳිනා මඩුවක් කරව. මට වැටුප් දිය හැකිනම් කරන්නෙමියි කීය. හැකිවෙමියි කීය. එසේ නම් කරන්නෙමියි කියා එක් ප්‍රදේශයක් බැලීය. ඒ දොළොස් යොදුන් ප්‍රමාණ ප්‍රදේශය කසිණ මණ්ඩලයක් මෙන් සමතල පරමරම විය. නැවත හෙතෙම මෙපමණ තැන දැකුම්කළු සත්රුවන්මුවා මඩුවක් නැගේවායි සිතා බැලීය. එවිට දිවමඩුවක් බඳුව පොළෝතලය බිඳගෙන මඩුවක් නැගී ගියේය. එහි රන්මුවා ටැම්වල රිදීමුවා ඝටක විය. රිදීමුවා ටැම්වල රුවන්මුවා මිණිටැම්වල පබළුමුවා පබළුමුවා ටැම්වල මිණිමුවා සත් රුවන්මුවා ටැම්වල සත්රුවන්මුවා ඝටක විය.