2. කොණ්ඩඤ්ඤ බුද්ධවංස වර්ණනාව
දිවකුරු බුදුන් පිරිනිවි කල උන්වහන්සේගේ සසුන වර්ෂ ලක්‍ෂයක් පැවැත්තේය. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී එක් කපක කොණ්ඩඤ්ඤ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පාරමී පුරා බෝධිඥානය මෝරවා වෙස්සන්තරාත්මභාවය වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුර ඉපිද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුතව රම්මවතී නුවර සුනන්‍ද නම් රජකුලයෙහි සුජාතා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳ ගැන්මෙහි දීපංකර බුද්ධවංසයෙහි කී නියා දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දසමස් ඇවෑමෙන් මවුකුසින් නික්ම සත්වෝත්තමයෝ උතුරු දිශාභිමුඛව සත්පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ජාතියයි. දැන් පුනර්භවයක් නැත්තේය කියායි.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනයෙහි නම් කරන්නාහු කොණ්ඩඤ්ඤයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ ගොත්‍රයෙහි වූහ. උන්වහන්සේට රාම සුරාම සුභ නම් රමණීය ප්‍රාසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම්හි දක්‍ෂ තුන්ලක්ෂයක් නළු ගැහැණුන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේගේ අගමෙහෙසිය රුචිදේවී නම් වූවාය. පුත්‍රයා විජිතසේන නම් විය. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ.
ජිර්ණ ව්‍යාධි මෘත ප්‍රව්‍රජිතයන් දැක ආජඤ්ඤ රථයකින් ගොස් පැවිදි වූ දසමසක් ප්‍රධන් වීර්යය කළහ. පැවිදිවන කොණ්ඩඤ්ඤ කුමරුන් අනුව දසකෙළක් දෙන පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරන ලදුව දසමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින සුනන්‍දගම සමව එක්වූ ඝන පියොවුරුබර යසෝධරා නම් සිටු දියණිය දුන් පරම මධුර මීකිරිබත් වළඳා පලපල්ලව අංකුරයෙන් සමලංකෘත සාල වනයෙහි දිවාවිහාර කොට සවස් කාලයෙහි ගණයා හැර සුනන්‍ද ආජීවකයා දුන් අටතණමිට ගෙන සල්කලණ රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුක පිටුපසින් කොට අටපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල පරදා රෑ පළමු යම පෙර විසීම් සිහිකරන නුවණ පිරිසිදු කොට මැදියම දිවැස පිරිසිදු කොට අලුයම ප්‍රත්‍යයාකාරය මෙනෙහි කොට ආනාපාන චතුර්ථධ්‍යානයෙන් නැගී ස්කන්ධයන්හි පිවිස උදයව්‍යය වශයෙන් සම ප්‍රඥාවෙන් ලක්‍ෂණ දැක ගෝත්‍රභූඤාණය තෙක් විදසුන් වඩා සතරමඟ නුවණත් සතර ඵල නුවණත් සතර පිළිසිඹියා සතර යෝනි හිම් කොටැති ඤාණය පංචගති පරිච්ඡේදක ඤාණය ෂඩ් අසාධාරණ ඤාණ යන සියල්ල බුද්ධඥානයෙන් ප්‍රතිවේධ කොට සපිරි සංකල්ප ඇතිව බෝමුල වැඩහිඳිමින්ම-
නැවත නැවත ඉපදීම දුකෙකි. මේ ආත්මභාවය නමැති ගෙය තනන වඩු සොයමින් නොදැක සසර නොඑක් ජාතිවල සැරිසැරීමි.
වඩුව, ඔබ දිටිමි. නැවත ගෙය තැනිය නොහැකිය. ඔබගේ සියලු පරාළ බිඳ දමන ලදි. කැණිමඬලද සුණු විසුණු කරන ලදි. තෘෂ්ණා ක්‍ෂය අවබෝධ කළෙමි. සිත නිවනට පිවිසියේය.
ජලයෙන් ගින්නෙන් නැසූ යගුළියක මෙන් අනුපූර්ව ලෙසින් උපශාන්ත වූවහුගේ ගතිය නොදන්නා ලැබේ.
මෙසේ මනාව මිදුණු කාමබන්‍ධන නමැති සැඩපහරින් තරණය වූවන්ගේ ගතිය පැනවීමක් නැත.