1. දීපංකර බුද්ධවංස වර්ණනාව
මෙම නුවර වැසි උපාසකවරු බුදුපාමොක් බික්සඟනට මහදන් දී වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේට මල්ගඳ ආදියෙන් පුදා වැඳ දානානුමෝදනා අසනු පිණිස වාඩිවූහ. එවිට ශාස්තෘන් වහන්සේ ඔවුන්ට පරම මධුර හෘදයංගම අනුමෝදනාවක් කළ සේක.
දානය නම් සැප ආදියට පරම නිදානයයි දන්නා ලදි. දෙව්ලොවට හිණයි. පිහිටයයි කියනු ලැබේ.
දානය මිනිසුන්ට ආරක්ෂාවයි. දානය එකම නෑයාය. දුකට පත් සතුටන් එකම ගමනයි.
දුක් තරණය කිරීම් අර්ථයෙන් දානය නැවක් යයි දක්වන ලදි. භයෙන් ආරක්ෂා කරන හෙයින් දානය නගරයකැයි වර්ණනා කරන ලදි.
ළංවීමට අපහසු හෙයින් දානය සර්පයෙකැයි කියන ලදි. දානය ලෝභකිලිටි සමඟ නොතැවරෙන හෙයින් පියුමකි.
ලොව මිනිසාට දානය මෙන් අවශ්‍ය දෙයක් නැත. එබැවින් ක්‍රියාත්මක අදහසින් එය පිළිපදිම්.
දානය ස්වර්ග ලෝකයට නිදානයයි. එබැවින් මෙලොව කවර නම් නැණවතෙක් හිතකාමීව දන් නොදෙයිද?
දානයෙන් හටගන්නා දෙව්සැප අසා කවරනම් මිනිසෙක් සැප ගෙන දෙන සිත තොස්වන දන් නොදෙන්නේද?
දනට පිළිපන්නහු විසින් අප්සරාවන් පිරිවරා සුරනන්දන වූ නඳුනුයන්හි බොහෝ කල් වාසය කරනු ලැබේ.
දන්දෙන්නා උදාර ප්‍රීතියෙක් විදී. ලොව ගෞරවයට පාත්‍ර වෙයි. දෙන්නා අනන්ත ප්‍රසිද්ධියට පත්වෙයි. දෙන්නා විශ්වසනීයයෙක්ද වන්නේය.
ඔහු දන් දී භෝග සමෘද්ධියටත් දීර්ඝායුෂයටත් පැමිණෙයි. දෙවියන් සමඟ දෙව්ලොව මිහිරි රූප ශබ්ද ද මත් මොනර නදින් පිරි විමානවල සිට විඳී.
සොර සතුරු රජ ජල ගිනිවලට දානය අසාධාරණය. එබැවින් ශ්රාවකඤාණභූමිය පච්චෙකබුද්ධභූමිය බුද්ධභූමිය පතා දන් දෙයි.
මේ ආදි විසින් දානානුමෝදනා කොට දානානිසංස පවසා අනතුරුව සීලකථා දෙසූහ. මේ සීලය නම් මෙලොව පරලොව සැපතට මුලයි.
ශීලය සැපවලට පරම නිදානයයි. ශීලයෙන් සංවර පුද්ගලයා දෙව්ලොව යයි. සසරගත සත්වයාව ශීලය ත්‍රාණ ලෙණ පරායණය වෙයි.
ජනයාට ශීලය වැනි අවශ්යයෙක් මෙලොව හෝ පරලොව වෙන කොයින්ද? ගුණයනට පරම ප්‍රතිෂ්ඨාව ශීලයයි. ස්ථාවර ජංගම සියල්ලට මහපොළව මෙනි.
ශීලයම යහපතයි. ශීලයම ලොව අනුත්තරයි. ශීලයෙන්ම ආර්ය වෘත්තියෙහි හැසිරෙන්නේ යයි කියනු ලැබේ.
ශීලාලංකාරයට සම අලංකාරයක් නැත. සිල්සුවඳට සමාන සුවඳක් නැත. කෙලෙස්මල සේදීමට ශීලය සමාන දෙයක් නැත. ශීලය සමාන දාහ සංසිඳුවන්නක් නැත. ශීලය වැනි කීර්ති උපදවන්නක් නැත. ශීලය වැනි දෙව්ලොවට නගින ගින්නක් නැත. නිවන් නුවරට වැදීමට ශීලයට සමාන දොරටුවක් නැත. කී පරිදි-
සිල් අබරණින් සැරසුණ යතිවරුන් මෙන් මිණිමුතුවලින් සැරසුණ රජවරු ශෝභමාන නොවෙති.
සිල්සුවඳ වැනි සුවඳක් කොහි නම් ඇත්තේද? එය යටිසුළඟෙහි මෙන්ම උඩු සුළඟෙහිද එකසේ හමයි. මල්සුවඳ සඳුන් තුවරලා හෝ දෑසමන් උඩුසුළඟට හමායයි. සත්පුරුෂ සුවඳ නම් උඩුසුළඟට යයි. සත්පුරුෂයා හැම දිශාවෙහිම හමායයි.
සඳුන් තුවරලා හෝ උපුල් ඉද්ද යන මේ සුවඳ අතුරෙන් සිල්සුවඳම අනුත්තරය.
ගංගා යමුනා හෝ සරභූ සරස්වතී හෝ අචිරවතී මහී හෝ මහාගංගා ජලය මෙලොව මිනිසුන්ගේ කෙලෙස් මල සෝදාහැරිමට සමත් නොවෙයි. සිල් ජලයම ඒ මල සෝදා හරි.
ඒ ජලවාෂ්ප මුසු සුළඟ හෝ සුදු සඳුන් හෝ මුතුහර හෝ මැණික් හෝ සඳකිරණ හෝ සත්ත්වයන්ගේ කෙලෙස් දාහ සමනය නොකරයි. අත්‍යන්ත සිසිල් වූ මේ ආර්ය ශීලයම මේ දාහ සන්සිඳුවයි. අත්තානුවාදාදි බිය හැමදා නැති කරයි. හැමකල සිල්වතාගේ ශීලය කීර්තියත් සිසිලත් ඇති කරයි.
ස්වර්ගාරෝහණ හිණක් ශීලය හැර වෙන කොයින්ද? නිවන්පුර පිවිසෙන වෙන දොරටුවක් කොයින්ද?
ගුණයන්ට මුල්වූ දොස බලඝාතයක් වූ ශීලයෙහි අනුත්තර අනුසස් මෙසේ දනිව්.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශීලානිශංස දක්වා මේ ශීලය නිසා ස්වර්ගය ලැබේයයි දැක්වීම පිණිස ස්වර්ග කථාව දෙසූහ. මේ ස්වර්ගය නම් ඉෂ්ටය. කාන්තය. මනාපය. ඒකාන්තයෙන් සැපය. එහි නිරන්තරවම ක්‍රීඩා සම්පත් ලැබෙයි. චාතුර්මහාරාජික දෙවියෝ අනූලක්ෂයක් අවුරුදු දෙව්සැප දෙව්සම්පත් ලබති. තාවතිංසයෝ වසර තුන්කෝටි හැට ලක්ෂයක් වෙයි. මෙසේ සඟගුණ මුසු බණකථා වදාළහ. මෙසේ ස්වර්ග කථාවෙන් පොළඹවා නැවත මේ ස්වර්ගයද අනිත්‍යය අස්ථිරය. මෙහිද ආලය නොකළ යුතුයයි කාමයන්ගේ ආදීනව පහත් බව සකිළිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශකොට නිවන කෙළවර කොට ඇති ධර්මකථා වදාළහ. මෙසේ ඒ මහජනයාට දහම් දෙසා කිසිවෙකු සරණයෙහි ද කිසිවෙකු ශීලයෙහි ද කිසිවෙකු සෝවාන් ඵලයෙහි ද කිසිවෙකු සකෘදාගාමි ඵලයෙහි ද කිසිවෙකු අනාගාමි ඵලයෙහි ද කිසිවෙකු සතර ඵලයෙහි කිසිවෙකු ත්රිවිද්යාවෙහි කිසිවෙකු ෂඩ්භිඥාවෙහි කිසිවෙකු අටසමවත්හි පිහිටුවා අසුනින් නැගිට රම්ම නුවරින් නික්ම සුදසුන් වෙහෙරටම පිවිසි සේක. එහෙයින් කියන ලදි-