නිගමනකථා
මැනවින් වර්ණනා කරන ලද පදවින්‍යාසයෙන් විචිත්‍රනයින් හොබනා බුද්ධවංස වර්ණනය මෙපමණකින් සම්පූර්ණ විය.
මා විසින් පාළි අර්ථ ප්‍රකාශක පුරාණ අටුවා මඟ ගනිමින්ම බුද්ධවංස අටුවාව කරන ලදී.
ප්‍රපංච අර්ථය බැහැර කොට සර්වප්‍රකාරයෙන් මධුරාර්ථයම ප්‍රකාශ වන හෙයින් මධුරත්‍ථප්පකාසිනී නම් වෙයි.
කාවේරි නදී දිය වැටීමෙන් පිවිතුරු මිහිතෙළෙහි නානා නරනාරි සමූහයෙන් ගැවසීගත් රමණීය වූ කාවෙරි පටුනෙහි මුදුවදන් ඇති සත්පුරුෂ කණ්හදාස නමැත්තා විසින් කරවන ලද විවිධාකාර සුන්දර පවුරු දොරකොටු යුත් උල්පතින් වෑහෙන ජල ඇති දර්ශනීය වූ මනරම් වූ දුර්ජන සම්බන්‍ධයෙන් තොර විවේකසුව යුත් ශාන්ත විහාරයෙහි පරම සිසිලැති නැගෙනහිර දෙස පිහිටි ප්‍රාසාදයෙහි වසන මා විසින් මේ බුද්ධවංස වර්ණනාව කරන ලදි.
යම් සේ මේ වර්ණනාව අන්තරාය රහිතව මැනවින් නිමාවට පත්වූයේ ද එමෙන් ධර්මයුක්ත ජනයාගේ විතර්ක අන්තරාය රහිතව මැනවින් සමෘද්ධියට පැමිණේවා.
මෙම බුද්ධවංශ සංවර්ණනය කරන මා විසින් යම් පුණ්‍යයක් ප්‍රාර්ථනා කරන ලදද, ඒ පින් බෙලෙන් ලෝකය ඒකාන්ත ශාන්ත නිවනට පැමිණේවා.
ගුරුන් විසින් තබන ලද බුද්ධදත්ත යන නමින් ප්‍රකට තෙරණුවෝ මධුරත්‍ථවිලාසිනී අට්ඨකථාව කොට පරපුරෙන් පරපුරට හිතලබා දෙන මේ පොත තබා අහො අනිත්‍යතා වශයෙන් අපවත් වූහ.
මෙසේ බණවර වශයෙන් සවිසි බණවරකි. ග්‍රන්‍ථ විසින් ග්‍රන්‍ථ සදහස් පන්සියයකි. අකුරු විසින් අකුරු දෙලක්‍ෂතුන් දහසකි.
[missing trans]
මෙතෙකින් මධුරත්‍ථවිලාසිනී නම් බුද්ධවංස අටුවා කථාව නිමියේය.