සන්තිකෙනිදානකථා
උදන් අනා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිත් විය. මම සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මේ පර්යංකය හේතුවෙන් සැරිසැරීමි. මාගේ මේ පර්යංකය වීරපර්යංකයි. මෙහි හුන් මට යම්තාක් මාගේ සංකල්ප නොපිරේද ඒතාක් මෙයින් නොනැගිටිමියි නොඑක් කෙළලක්‍ෂ ගණන් සමවතට සමවදිමින් සතියක් එහිම වැඩහුන් සේක. යමක් සඳහා අථ ඛො භගවා සත්තාහං එකපල්ලංකෙන නිසීදි විමුත්තිසුඛපටිසංවෙදී යි කියන ලදද ඒ මේ සඳහායි.
එවිට සමහර දේවතාවන්ට ඒකාන්තයෙන් අදත් සිද්ධාර්ථයන්ට කළයුතු කිස ඇත්තේය. සලගෙහි ඇල්ම අතනොරිතී කියා සිතිණ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දෙවියන්ගේ විතර්කය දැන ඔවුන්ගේ විතර්කය සංසිඳුවීම පිණිස අහසට නැග යමක ප්‍රාතිහාර්යය දැක්වූහ. මෙසේ මේ පෙළහරින් දෙවියන්ගේ විතර්කය සන්සිඳුවා පර්යංකයෙන් මදක් නැගෙනහිර නිශ්‍රිත උතුරුදිග සිට මම මේ පර්යංකයෙහි සර්වඥතාඥානය ප්‍රතිවේධ කළෙමි. සාරාසංඛ්‍ය කප්ලක්‍ෂයක් පුරා පිරූ පැරුම්හි ඵල අවබෝධ කළ තැනයයි පර්යංකය නිමේෂ රහිත ඇසින් බලන්නාහු සතියක් ගත කළහ. ඒ ස්ථානය අනිසම්චේතිය නම් විය.
ඉක්බිති පර්යංකයටත් සිටි තැනටත් අතර සක්මනක් මවා නැගෙනහිරින් බටහිරින් දික්වූ රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රතනචේතිය නමි.
සතරවන සතියෙහි බෝධියට වයඹ දෙස දෙවියෝ රුවන්ගෙය මැවූහ. එහි පලඟින් හිඳ විජම් පිටකය විමසමින් හුන්හ. ඒ ස්ථානය රතනඝර චේතිය නම් විය.
මෙසේ බෝධිය සමීපයෙහිම සතර සතියක් ගෙවා පස්වන සතියෙහි බෝරුක් මුලින් අජපල් නුගරුකමුලට පැමිණියහ. එහිද ධර්මය විමසමින් විමුක්ති සැප ද විඳිමින් වැඩහුන්හ.
එහි සතියක් ගෙවා මුචලින්ද මූලයට වැඩියහ. එහි සත්තාහචද්දලි කා නම් වැසි උපන් කල සීතාදිය වැළැක්වීමට මුචලිඳු නාරජු විසින් සත් දරන පටකින් වටකරන ලද්දේ සම්බාධ රහිතව ගඳකිළියෙහි වසන්නාක් මෙන් විමුක්ති සුව විඳිමින් එහි සතියක් ගතකොට රාජායතනයට වැඩියහ. එහිද විමුක්ති සුව විඳිමින්ම සතියක් වැඩහුන්හ. මෙපමණකින් සත්සතිය සපිරිණ. මේ අතර භාග්‍යවතුන් වහන්සේට මුව දෙවීමක් නොවීය. සිරුරු පිළිදැඟීමක් නොවීය. ස්නාන කෘත්‍යයක් නොවීය. ඵල සුවයෙන්ම කල්ගෙවූ සේක. ඉක්බිති ශාස්තෘන් වහන්සේ සත්සති අග එකුන්පස්වන දින සක්දෙවිඳු විසින් එළවන ලද නාලිය දැහැටිවලින් ද අනෝතත්තවිල ජලයෙන් ද මුවදොවා එම රාජායතන මුල්හිම වැඩහුන්හ.
එකල තපස්සු භල්ලුක නම් වෙළඳුන් දෙදෙන සහලේ නෑ දෙවියන් විසින් ශාස්තෘන් වහන්සේට ආහාරදානයෙහි මෙහෙයවන ලද්දාහු අත්සුණු ද මීපිඬු ද ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මේ අහර පිළිගන්නා සේක්වායි ශාස්තෘන් වහන්සේ වෙත පැමිණ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ කිරිබත් පිළිගත් දවසෙහිම දෙවියන් දුන් පාත්‍රය අතුරුදන් වූ හෙයින් තථාගතයෝ අතින් නොපිළිගනිතියි මම කුමකින් මෙය පිළිගනිම්දැයි සිතූහ. එවිට භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන සිවුදිගින් සතරවරම් රජවරු ඉඳුනිල්මිණිමුවා පාත්‍ර සතරක් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒවා ප්‍රතික්‍ෂේප කළහ. නැවත මුංපැහැති සෙල්මුවා පා සතරක් එළවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සතරදෙනාට අනුකම්පා පිණිස පිළිගෙන එකක් බවට පමුණුවා ඒ අගනා සෙල්මුවා පයින් අහර පිළිගෙන වළඳා අනුමෝදනා කළ සේක. ඒ දෙබෑ වෙළෙන්දෝ බුදුන් ද දහම් ද සරණ ගොස් ද්වේවාචික උපාසකයෝ වූහ.
ශාස්තෘන් වහන්සේ අජපාල නුගරුක කරා වැඩ නුගමුල වැඩහුන්හ. උන්වහන්සේ එහි වැඩහුන් කෙණෙහිම අවබෝධ කළ ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කරත්ම සියලු බුදුවරුන්ට ආචීර්ණ අධිගතො ඛොම්‍යායං ධම්මො ආදී වශයෙන් අනුන්ට ධර්මය නොදෙසනු කැමති ආකාරයට පත් පරිවිතර්කයක් ඇතිවිය. එවිට සහම්පති බ්‍රහ්මතෙම භවත්නි, ලොව ඒකාන්තයෙන් නස්නේ යයි දසදහසක් සක්වළ ශක්‍ර සුයාම සංතුසිත නිම්මානරති පරනිම්මිතවසවත්ති මහාබ්‍රහ්මයන් ගෙන ශාස්තෘන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වායි ආදි විසින් ධර්මදේශනාවට අයැදියේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට ප්‍රතිඥා දී කාට නම් මම පළමුව දහම් දෙසන්නෙම්දැයි සිතන සේක් ආළාර උද්දකයන් මළබව දැන පස්වග භික්‍ෂූහු මට බොහෝ උපකාරකයයි පංචවර්ගීයයන් කෙරෙහි මෙනෙහි කොට දැන් කොහි වසත්දැයි ආවර්ජනා කරන සේක් බරණැස මිගදායෙහි යයි දැන එහි ගොස් දම්සක් පවත්වමියි කීපදිනක් බෝමැඩ හාත්පසපස්හිම පිඬු පිණිස හැසිරෙමින් වැස ඇසළ පුන් පොහෝදින බරණැසට යන්නෙමියි පාසිවුරු ගෙන අටළොස් යොදුන් මගට පිළිපන් සේක. අතරමඟ තුටු පහටු උපක නම් ආජීවක දැක ඔහුට තමන් වහන්සේ බුදු බව කියා එදිනම සවස් වේලෙහි ඉසිපතනයට වැඩියහ.