25. ගොතම බුද්ධවංස වර්ණනාව
දූරෙනිදානකථා
දැන් අප බුදුරදුන්ගේ වංස වර්ණනාව ක්‍රමයෙන් පැමිණියේය. එහෙයින් මේ එහි වර්ණනාවයි.
එහිලා අප බෝසතාණෝ දීපංකරාදි සූවිසි බුදුවරුන් හමුවෙහි ප්‍රාර්ථනා කරමින් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් පැමිණියහ. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් පසුභාගයෙහි මේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හැර වෙනත් බුදුකෙනෙක් නම් නැත්තාහ, මෙසේ දීපංකරාදි සූවිසි බුදුවරුන් ලබන ලද විවරණ ඇති බෝසතාණෝ යම් ඒ
මනුෂ්‍යත්‍වය ලිංගසම්පත්තිය හේතු ශාස්තෘන් වහන්සේ හමුව පැවිද්ද ගුණ සම්පත්තිය ප්‍රාර්ථනාව යන අටදහම ගැළපීමෙන් ප්‍රාර්ථනාව සපිරෙයි යන
මේ අටදහම ගළපා දිවතුරු පාමුල්හි කරන ලද ප්‍රාර්ථනයෙන් ඒකාන්තයෙන් සැමතැන බුද්ධකාරක ධර්මයන් සොයමි. සොයන්නෙම් පළමු දාන පාරමිතාව දිටිමි’යි දාන පාරමිතාදී බුද්ධකාරක ධර්මයන් දුටහ. ඒවා පුරන්නාහු වෙස්සන්තරාත්මභාවය දක්වා පැමිණියහ. පැමිණෙන්නාහු කරන ලද යම් ඒ අභිනීහාරයන්හි ආනිසංස වර්ණනා කරන ලදි.
මෙසේ සකලාංග සම්පූර්ණ බුදුබවට නියත පුද්ගලයෝ කල්පකෝටි සියගණන් දිග සසර සැරිසරන්නාහු නමුදු අවීචියෙහි නූපදිති. එසේම ලෝකාන්තරිකවල ද නූපදිති. නිජ්ඣාමතණ්හික ඛුප්පිපාස කාලකඤ්ජක නොවෙති. දුගතියෙහි ඉපදුනද ක්‍ෂුද්‍රප්‍රාණීහු නොවෙති. මිනිසුන් අතර උපදනා ඔවුහු ජාත්‍යන්‍ධයෝ නොවෙති.
කර්ණ විකලතා නොවෙයි. ගොළු නොවෙති. ස්ත්‍රීත්‍වයට නොයති. උභතොඛ්‍යඤ්ජක පණ්ඩක නොවෙති.
බෝධියට නියත උතුමෝ පර්යාපන්න නොවෙති. ආනන්තරිකයන්ගෙන් වෙන්වූවාහු හැමතන්හි පිරිසිදු චර්යා ඇත්තෝ කර්මවාදී ක්‍රියාවාදී දර්ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිය ඇසුරු නොකරති. ස්වර්ගයෙහි සිටියත් අසංඥ තලයෙහි නූපදිති.
සුදවැසි දෙවියන් අතර ඉපදීමට හේතුවක් නොවෙයි. නෛෂ්ක්‍රම්‍යයට නැමුණු සත්පුරුෂයෝ සසර නොඇලී සියලු පාරමී පුරන්නාහු ලෝකාර්ථචර්යාවෙහි හැසිරෙති.
එම ආනිශංස ලබා පැමිණියහ. මෙසේ පැමිණෙන්නාහු වෙසතුරු අත්බැව්හි සිටියාහු.
අචේතනව මේ පොළොව සුවදුක් නොදැන මාගේ දාන බලයෙන් සත්වරක් කම්පාවිය.
මෙසේ මහපොළොව කම්පා කරවන මහපින් කොට ආයු කෙළවර එතැනින් චුතව තුසිත භවනයෙහි උපන්හ.
අවිදූරෙනිදානකථා
බෝසතුන් තුසිත භවනයෙහි වසද්දී බුද්ධකෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. ලොව වනාහි තුන් කෝලාහලයක් උපදී. ඒ මෙසේයි. කල්ප කෝලාහලය බුද්ධ කෝලාහලය චක්‍රවර්ති කෝලාහලය කියායි. එහි වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යයි ලෝකබ්‍යුහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදාගෙන කෙස් විසුරුවා ගෙන හැඬූ මුහුණින් අතින් කඳුළු පිසිමින් රතුපිළි හැඳ අතිශයින් විරූපවෙස් ඇතිව මිනිස් පියෙස්හි ගැවසෙමින් මෙසේ දැනුම් දෙති. නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කප නැගීම වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් වියලෙයි. මේ මහපොළවත් මහාමෙරු පර්වත රාජයාත් දැවෙයි. වැනසෙයි. බූඹලොව දක්වා ලෝක විනාශය වෙයි. නිදුක්වරුනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව වඩව්. මවට, පියාට උපස්ථාන කරව්. කුලදෙව් වන් පුදන්නෝ වව් කියායි. මෙය කල්ප කෝලාහලයයි.