මෙම සිරිසෞභාග්යයෙන් යන බෝසතාණෝ එක් රැයින්ම තුන් රාජ්‍යය පසුකොට තුන්යොදුන් මග ගෙවා අනෝමා ගංතෙරට පැමිණියහ. ඉක්බිති බෝසත්හු ගංතෙර සිට මේ කිනම් නදියක්දැයි ඡන්නගෙන් ඇසූහ. දේවයිනි, අනෝමා නමි. අපගේ පැවිද්දත් අනෝම වන්නේ යයි විළුබෙන් අසු ගටන්නාහු අසුට සංඥා කළහ. අශ්වයා උඩපැන අට ඉස්බක් පුළුල් ගඟ එගොඩ සිටියේය. බෝසත්හු අසුපිටින් බැස මුතුරැසක් වන් වැලිතෙලෙහි සිට ඡන්න ඇමතූහ යහළු ඡන්න, ඔබ මාගේ ආභරණත් කන්ථකත් ගෙන යන්න. මම පැවිදි වන්නෙමියි කීහ. ඡන්න, දේවයිනි මමත් පැවිදිවෙමියි කීය. ඔබට මහණවිය නොහැකියි. ඔබ යන්නමයි තෙවරක් වළකා ආභරණත් අශ්වයාත් පවරා දී මෙසේ සිතූහ. මගේ මේ කෙස් ශ්‍රමණ සාරුප්‍ය නොවෙයි. ඒවා කඩුවෙන් කපමි කියා දකුණතින් නොතියුණු උතුම් කඩුව ගෙන වමතින් මෞළිය සහිත කොණ්ඩය ගෙන සින්දහ. කෙස් දැඟුල්ව දකුණට කැරකී හිසෙහි ඇලී ගියේය. දිවිහිමියෙන් ඒ කෙස්වල ප්‍රමාණය එයම වෙයි. රැවුල එයටම අනුරූප විය. නැවත කෙස්රැවුල් කැපීමක් නොවීය. බෝසත්හු මෞලිය සහිත කොණ්ඩය ගෙන ඉදින් මම බුදුවන්නෙම් නම් අහසෙහි රැඳේවා. නොඑසේ නම් බිම වැටේවායි අහසට දැමූහ.
එවිට සක්දෙව්රජ දිවැසින් බලන්නේ යොදුනක් පමණ රන්කරඬුවකින් එය පිළිගෙන තවුතිසා භවනයෙහි සිළුමිණි සෑය නම් සෑයක් පිහිටුවීය. කීයේමය-
අග්‍ර පුද්ගලයන් වහන්සේ උතුම් සුවඳ කැවූ මෞලිය සිඳ අහසට දැමූහ. වාසව නම් දහසක් නුවන් ඇත්තහු විසින් උතුම් රන්කරඬුවෙන් සිරසින් පිළිගන්නා ලදි.
නැවත බෝසතාණෝ සිතූහ. මේ කසී සළු මාගේ පැවිද්දට නොගැළපෙයි. එවිට උන්වහන්සේගේ කාශ්‍යප බුදුන් සමයෙහි පැරණි යහළු වූ ඝටීකාර මහාබ්‍රහ්ම තෙම එක් බුද්ධාන්තරයක් විනාශයට පත් මිත්‍රභාවයෙන් මෙසේ සිතීය. අද මාගේ මිත්‍රයා මහබිනික්මන් කළේය. එතුමාට ශ්‍රමණ පරිෂ්කාර ගෙන යමි කියායි.
තුන්සිවුර ද පාත්‍රය ද කරය ද හිදිකටුව ද පෙරහන සහ කායබන්ධන ද යන මේ අට යෝගයෙහි යුක්ත භික්ෂුවගේ පිරිකරයි.
මේ ශ්‍රමණ පිරිකර අට ගෙනවුත් දුන්නේය. මහපුරිස්හු අර්හත් ධජය පෙරවා උතුම් පැවිදි වෙස් ගෙනම ඡන්නය, මාගේ වචනයෙන් මවුපියන්ට නිරෝගබව කියවයි කියා පිටත් කළහ. ඉක්බිති ඡන්න බෝසතුන් වැඳ පැදකුණු කොට ගියේය. කන්ථක වනාහි ඡන්න සමග කතාකරන බෝසතුන්ගේ වදන් අසන්නේ දැන් ඉතින් මට සමීපයාගේ දැකීමක් මින්පසු නැතැයි පෙනෙන තෙක් මානයෙන් දුරුවීමත් සමගම වියෝදුක ඉවසනු නොහැකිව ළය පැළී මිය ගොස් සුරරිපුන් විසින් නොමැඩිය හැකි තවුතිසා භවනයෙහි කන්ථක නම් දිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ උපත විමලත්ථ විලාසිනී නම් විමානවත්ථු අටුවාවෙන් ගත යුතුය. ඡන්නට පළමුවෙන් එකම ශෝකයක් විය. එය කන්ථකගේ මරණයෙන් දෙවන ශෝකයකින් පෙළෙන්නේ හඬමින් වැලපෙමින් දුකින් ගියේය.
බෝසතාණෝ ද පැවිදිව ඒ පෙදෙසෙහිම අනුපිය නම් අඹඋයනක් ඇත. එහි සතියක් පැවිදි සුවයෙන් කල්ගෙවා එයින් සන්ධ්යාප්රභායෙන් රැඳුණු වලාපිරිවැරූ සරාකල පුන්සඳ මෙන් උතුම් කසාවතින් සංවරවූයේ හුදකලාව ද නොඑක් දෙන පිරිවරන ලද මෙන් බබළන්නාහු. ඒ වනයෙහි මෘගපක්ෂීන්ට නයනාමෘතයක් කරන්නාහු මෙන් එකචාරී සිංහයකු මෙන් මත්මතඟ ගමනින් නරසිංහයාණෝ මිහිකත සනහන්නාක් මෙන් පා ගමනින් එක් දිනකින්ම තිස්යොදුන් මඟ ගෙවා උත්තුංග තරංග භංග යුත් ගල ගංගා නදිය තරණය කොට රක්නාලෝක සමූහයෙන් බබළන උතුම් සොඳුරු රජගහ නම් නුවරට පිවිසියහ. පිවිස ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසුරුණාහ. ඒ මුළු නුවර බෝසතුන්ගේ රූප දර්ශනයෙන් ධනපාල ඇතු පිවිසි කල ඒ නගරය මෙන් අසුරිඳු පිවිසි කල දෙව්නුවර මෙන් කැළඹීමට පත්විය. මහපුරුෂයාණන් පිඬු පිණිස හැසිරෙද්දී නුවර වැසි මිනිස්සු මහසතුන්ගේ රූප දර්ශනයෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇතිව විස්මය පත්ව බෝසත් දර්ශනයෙන් ආවර්ජිත සිත් ඇත්තෝ වූහ.