බෝසතුන් තුසිත භවනයෙහි වසද්දී බුද්ධකෝලාහල නම් කෝලාහලයක් ඇතිවිය. ලොව වනාහි තුන් කෝලාහලයක් උපදී. ඒ මෙසේයි. කල්ප කෝලාහලය බුද්ධ කෝලාහලය චක්රවර්ති කෝලාහලය කියායි. එහි වසර ලක්ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යයි ලෝකබ්යුහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදාගෙන කෙස් විසුරුවා ගෙන හැඬූ මුහුණින් අතින් කඳුළු පිසිමින් රතුපිළි හැඳ අතිශයින් විරූපවෙස් ඇතිව මිනිස් පියෙස්හි ගැවසෙමින් මෙසේ දැනුම් දෙති. නිදුක්වරුනි, නිදුක්වරුනි, මෙයින් වසර ලක්ෂයක් ඇවෑමෙන් කප නැගීම වෙයි. මේ ලෝකය වැනසෙයි. මහමුහුදත් වියලෙයි. මේ මහපොළවත් මහාමෙරු පර්වත රාජයාත් දැවෙයි. වැනසෙයි. බූඹලොව දක්වා ලෝක විනාශය වෙයි. නිදුක්වරුනි, මෙත් වඩව්. කරුණාව, මුදිතාව, උපේක්ෂාව වඩව්. මවට, පියාට උපස්ථාන කරව්. කුලදෙව් වන් පුදන්නෝ වව් කියායි. මෙය කල්ප කෝලාහලයයි.
වර්ෂ ලක්ෂයක් ඇවෑමෙන් සර්වඥ බුදුකෙනෙක් ලොව උපදනාහයි ලෝකපාල දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර ලක්ෂයක් ගියකල බුදුකෙනෙක් ලොව උපදනාහයි උද්ඝෝෂණය කරමින් ඇවිදිති. මෙය බුද්ධ කෝලාහල නමි.
වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි දේවතාවෝ නිදුක්වරුනි, මෙයින් වසර සියයක් ගෙවීමෙන් සක්විති රජෙක් උපදනේ යයි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය චක්රවර්ති කෝලාහලය නමි.
එයින් බුද්ධ කෝලාහලය අසා සියලු දසදහසක් සක්වළ දේවතාවෝ එකට රැස්ව අසවල් නම් සත්ත්වයා බුදුවන්නේ යයි දැන වෙත පැමිණ ආයාචනා කරති. ආයාචනා කරන්නාහු උන්වහන්සේගේ පෙරනිමිති උපන්කල්හි ආයාචනා කරති. එකල්හි වනාහි ඒ සියලුම එක් එක් සක්වළ චතුම්මහාරාජ ශක්ර සුයාම සන්තුසිත වසවර්ති මහාබ්රහ්මයන් සමග එක් සක්වළෙක රැස්ව තුසිත භවනයෙහි උපන් චුතිනිමිති ඇති බෝසතුන් වෙත ගොස් නිදුකාණනි, ඔබවහන්සේ විසින් දසපැරුම් පුරන ලදි. පුරද්දී ශක්ර බ්රහ්ම ආදි සම්පතක් පතමින් නොපුරන දි. ලෝකයා එතෛර කරනු පිණිසම බුද්ධත්වය පතාගෙන සපුරන ලදි. බුදුබව පිණිස-
මහාවීරයාණනි, මේ ඔබට කාලයයි. මවුකුස උපදිනු මැනවි. දෙවියන් සහිත ලෝකයා තරණය කරමින් අමාපදය අවබෝධ කරනු මැනවි.
කියා ආයාචනා කළහ.
මෙසේ දෙවියන් විසින් අයදිනු ලබන්නාහු දෙවියන්ට ප්රතිඥාවක් නොදීම කාල දීප දේස කුල මවගේ ආයු පරිච්ඡේදය වශයෙන් පස්මහබැලුම් බැලූහ. එහි වර්ෂ ලක්ෂයකින් වැඩි ආයු කාලය කාලනම් නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්වයන්ගේ ජාති ජරා මරණ ප්රකට නොවෙයි. බුදුවරුන්ගේ ධර්මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නොවෙයි. අනිච්ච දුක්ඛං අනත්තායි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේදැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නොහඟිති. එසේ ඇතිකල සසුන අනෛර්යානික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයන් අඩු ආයු කාලය ද කාලය නොවෙයි. කුමක් නිසාද? එකල සත්ත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙති. උත්සන්න කෙලෙස් ඇත්තවුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නොසිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එයද අකාලයයි. වර්ෂ ලක්ෂයෙහි පටන් යට වර්ෂා සියයෙහි පටන් උඩ ආයු කාලය කාල නමි. එකල වනාහි සියවස් ආයුකාලය විය. එවිට මහසත්හු ඉපදිය යුතු කාලයයි දුටහ.