22. කකුසන්ධ බුද්ධවංස වර්ණනාව
ස්වයම්භූ වෙස්සභූ බුදුන් පිරිනිවි කල්හි ඒ කල්පය ද ඉකුත් කල එකුන්තිස් කපක් ජිනසූර්යයෝ නූපන්හ. මේ භද්‍රකල්පයෙහි සිවුබුදු කෙනෙක් උපන්හ. කවර සතර නමක්ද? කකුසඳ කෝනාගම කාශ්‍යප යන තුන්නම සහ අප බුදුරජාණෝය. මෛත්‍රිය භාග්‍යවතුන් වහන්සේ මතු උපදනාහ. මෙසේ මේ කල්පය පස් බුදුකෙනකුගෙන් යුක්ත බැවින් මහා භද්‍රකල්පයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. එහි කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා තුසීපුර ඉපිද ඉන් සැව ඛේමවතී නුවර ඛේමංකර නම් රජුගේ අර්ථධර්මානුශාසක අග්ගිදත්ත නම් පුරෝහිතයාගේ අගබිසෝ විසාඛා නම් බැමිණිය කුස පිළිසිඳ ගත්හ.
යම්කලෙක රජවරු බමුණන්ට සත්කාර ගරුකාර කරත් ද මානනය කරත් ද පූජා කරත් ද එකල බෝසත්වරු බමුණු කුලයෙහි උපදිති. යම්කලෙක බමුණෝ ක්‍ෂත්‍රියයන්ට සත්කාර ගරුකාර මානන පූජා කරත් ද එකල කැත්කුලෙහි උපදිති. එකල්හි වනාහි බමුණෝ ක්‍ෂත්‍රියයන් විසින් සත්කාර ගරුකාර මානන පූජ කරන ලද්දෝ වූහ. එහෙයින් සත්‍ය සන්‍ධ කකුසන්‍ධ බෝසත් මහසත්හු විභවග්‍රී සම්පතින් ආකූල නිරාකුල බ්‍රාහ්මණ කුලයෙහි දසසහස්‍රී ලෝකධාතුව නාද කරවමින් කම්පා කරවමින් පහළ වූහ. යට කියන ලද ආකාර ප්‍රාතිහාර්ය ඇතිවිය. ඉක්බිති දස දසමස් ඇවෑමෙන් ඛේම උයන්හි රන්වැලකින් ගිනිජාලාවක් මෙන් මවුකුසින් බිහිවූහ. උන්වහන්සේ වසර හාරදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුචි අරුචි රතිවද්ධන නම් තුන්පහයක් විය. රෝහිණී බ්‍රාහ්මණීය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක රෝචනී බැමිණියට උත්තර කුමරු උපන් කල්හි මැනවින් සැදූ ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සතලිස් දහසක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන් කොට වෙසක් පුන්පොහෝ දින සුචිරින්‍ද නිගමයෙහි වජිරින්‍ධ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් මීකිරිබත් වළඳා කිහිරි වෙනෙහි දිවාවිහාර කොට සවස සුභද්ද නම් යවපාලකයන් දුන් අටතණමිට ගෙන පාටලි බෝධියෙහි කියන ලද පමණ ඇති දිවසුවඳ හමන සිරීසබෝධිය වෙත පැමිණ තෙතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සම්බෝධියට පත්ව උදන් අනා සත්සති ගෙවා තමන් වහන්සේ සමග පැවිදි වූ සතලිස් දහසක් භික්‍ෂූන්ගේ සත්‍ය ප්‍රතිවේධ සමර්ථතාව දැක එක් දවසින්ම මකිල නුවර ළඟ ඉසිපතන මිගදායට වැඩ උන්වහන්සේලා මැද දම්සක් පැවැත්වූහ.
එකල සතලිස් කෙළලක්‍ෂයක් දෙනාට ප්‍රථම ධර්මාවබෝධය විය. නැවත කාන්‍යකුබ්ජ නගර ද්වාරයෙහි මහ සල්රුක් මුල යමක ප්‍රාතිහාර්යය කොට තිස්කෙළ දහසකට ධර්මචක්‍ෂුස ඉපිදවූහ. එය දෙවන අභිසමය විය. යම්කලෙක ඛේමවතී නගරයට නුදුරු එක්තරා දේවායතනයක නරදේවානි මත නරදේව නම් යක්‍ෂයෙක් දෘශ්‍යමාන කයින් කාන්තාර මධ්‍යයෙහි පියුමුපිලින් සැදි පරම මිහිරි සිහිල්දිය පිරි සියලු ජනයන්ට ළංවිය නොහැකි විලක් ළඟ සිට පියුම් උපුල් මානෙල් ආදියෙන් සත්ත්‍වයන් පොළඹවා මිනිසුන් කා දමයි. එම මඟ අවසන ජන හසර රහිත මහවනයට වැද එහි පැමිණි සතුන් කාදමයි. එය ලෝකප්‍රකට කාන්තාර මාර්ගයක් විය. දෙපස කාන්තාර දොරටුවල මහජනයා රැස්ව කාන්තාරය තරණය කිරීමට බලා සිටිති. එකල බවබැලුම් පහකළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ දිනක් අලුයම මහකුළුණු සමවතින් නැගී ලොව බලන සේක් නැණවැලට හසුවූ ඒ මහේශාක්‍ය නරදේව යක්‍ෂයාත් ජනසමූහයාත් දුටහ. දැක අහසින් වැඩ ඒ ජනකාය බලා සිටියදීම භාග්‍යවතුන් වහන්සේ නොඑක් පෙළහර කරමින් නරදේව යක්‍ෂයාගේ භවනයට බැස ඔහුගේ මංගල පර්යංකයෙහි වැඩහුන් සේක.
එවිට මිනී කන යක්‍ෂයා සවනක් රස් විහිදුවමින් දෙව්දුනු පිරිවැරූ සූර්යයා මෙන් බුද්ධ දිවාකරයන් අහසින් වඩිනු දැක දසබලයන් වහන්සේ මට අනුකම්පාවෙන් මෙහි වඩින සේකැයි පහන් සිතින් සිය පිරිවර යකුන් සමග නානා මිගයණ යුත් හිමවතට ගොස් නන් වනගඳ දිය ගොඩ පරම මනරම් සුවඳ වත් මල් ගෙනවුත් සිය පලඟෙහි වැඩහුන් විගතරන්‍ධු වූ කකුසඳ ලෝකනායකයන් මාලා ගන්‍ධ විලේපනාදියෙන් පුදා තුතිසංගීත පවත්වමින් හිසෙහි ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති මනුෂ්‍යයෝ ඒ ආශ්චර්යය දැක පහන් සිතින් රැස්ව භාග්‍යවතුන් වහන්සේ පිරිවර නමස්කාර කරමින් සිටියහ. එවිට අප්‍රතිසන්‍ධි ඇති කකුසඳ බුදුහු අභිපූජිත නරදේව යක්‍ෂයාට කර්මඵල දැක්වීමෙන් තෙද ගන්වා නිරය කථාවෙන් තැතිගන්වන සිවුසස් දහම් දෙසූහ. එදින අප්‍රමාණ සත්ත්‍වයන්ට ධර්මාවබෝධ විය. මෙය තෙවන අභිසමයයි. එයින් කියන ලදි-
වෙස්සභුස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමෙං
කකුසන්‍ධො නාම නාමෙන අප්පමෙය්‍යො දුරාසදො