21. වෙස්සභූ බුද්ධවංස වර්ණනාව
සිඛී බුදුරදුන්ගෙන් පසු කල උන්වහන්සේගේ ශාසනය අතුරුදන් වූ පසු සැත්තෑදහසක් අවුරුදු ආයු ඇති මිනිස්සු කෙමෙන් පිරිහි දශවර්ෂායුෂ්ක වූහ. නැවත වැඩී අපමණ ආයු ඇත්තෝව කෙමෙන් පිරිහී අවුරුදු සැටදහසක් ආයු ඇත්තෝ වූහ. එකල දිනූ අදහස් ඇති ලොව දිනූ සර්වඥ වෙස්සභූ නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව අනුපම නුවර මනා ප්‍රීතියට පත් සුප්පතීත නම් රජුගේ අගමෙහෙසි සිල්වත් යසවතී දේවිය කුස පිළිසිඳ ගත්හ. දසමස් ඇවෑමෙන් අනුපම උයන්හි මව්කුසින් බිහිවූහ. උපදිද්දීම ජනයා සතුටුකොට සෘෂභනාද කළහ. එහෙයින් වසභනාද හේතුවෙන් උන්වහන්සේට නම් තබන දින වෙස්සභූ කියා නම් කළහ. උන්වහන්සේ සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සුචි සුරුචි රතිවඩ්ඪන නම් තුන්පහයක් විය. සුචිත්තා දේවිය ප්‍රමුඛ තිස්දහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක සුචිත්තා දේවියට සුප්පබුද්ධ කුමරු උපන් කල රන්සිවිගෙයින් උයන දැකීමට ගොස් දෙවියන් දුන් කසාවත් ගෙන පැවිදි වූහ. සැත්තෑදහසක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඉක්බිති ඔවුන් පිරිවරා උන්වහන්සේ සමසක් ප්‍රධන් වඩා වෙසක් පුන්පොහෝදින සුචිත්ත නියම්ගම දෘශ්‍යමානකයින් සිරිවඩ්ඪනාව විසින් දෙන ලද මීකිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස නරින්‍ද නාරජු දුන් අටතණමිට ගෙන සල් බෝධිය වෙත දකුණු දෙසින් පැමිණියහ. ඒ සල් බෝධියෙහි ද පළොල් බෝධියෙහි ප්‍රමාණයම විය. එසේම මල් පැල සිරිසම්පත් දතයුතුය. උන්වහන්සේ සල්රුක වෙත පැමිණ සතළිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ පහවූ නීවරණ ඇති සියලු මත අවුරන්නා වූ අනාවරණ ඥානය ලැබ උදන් අනා එහිම සත්සති ගෙවා සිය බාල සොහොයුරු සොණ කුමරුගේ ද උත්තර කුමරුගේද හේතු සම්පත් දැක අහසින් වැඩ අනුපම නගර සමීපයෙහි අරුණ උයන්හි බැස උද්‍යාන පාලක ලවා කුමාරවරුන් කැඳවා ඔවුන්ගේ පිරිවර මැද දම්සක් පැවැත්වූහ. එකල්හි අසූකෙළ දහසකට ප්‍රථම ධර්මාවබෝධය විය.
නැවත ජනපද චාරිකාවෙහි වඩින සේක් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තන්හි දහම් දෙසන්නාහු සැත්තෑකෙළ දහසකට ධර්මාවබෝධ කළහ. ඒ දෙවන ධර්මාවබෝධයයි. අනුපම නුවරදීම මිස දිටුදැල් බිඳින්නාහු තොටුවන්ගේ මානධජ හෙළන්නාහු මානධජ කියෙන්නාහු ධර්මධ්වජය ඔසවන්නාහු අනූ යොදනෙක පැතිරි මිනිස් පිරිස්හි අපරිමිත දෙව්පිරිස්හි යමක ප්‍රාතිහාර්යය කොට දෙවිමිනිසුන් පහදවා සැටකෝටියක් ධර්මාමෘතයෙන් සැතැප්වූහ. එය තෙවන අභිසමය විය. එයින් කියන ලදි.
තත්‍ථෙව මණ්ඩකප්පම්හි අසමො අප්පටිපුග්ගලො
වෙස්සභූනාම නාමෙන ලොකෙ උප්පජ්ජි නායකො
ආදිත්තන්ති ච රාගග්ගි තණහානං විජිතං තදා
නාගොව බන්‍ධනං ජෙත්‍වා පත්තො සම්බොධිමුත්තමං
ධම්මචක්කං පවත්තෙන්තෙ වෙස්සභුලොකනායකො
අසීති කොටිසහස්සානං පඨමාභිසමයො අහූ
පක්කන්තෙචාරිකං රට්ඨෙ ලොකසෙට්ඨෙ නරාසභෙ
සත්තතිකොටිසහස්සානං දුතියාභිසමයො අහූ
මහාදිට්ඨිං විනොදෙන්තො පාටිහීරං කරොති සො
සමාගතා නරමරූ දසසහස්‍රී සදෙවකෙ
මහඅච්ඡරියං දිස්වා අබ්භූතං ලොමහංසනං
දෙවා චෙව මනුස්සා ච බුජ්ඣරෙ සට්ඨිකොටියො
එහි ආදිත්තං යනු; මේ සියලු තුන්ලොව ඇවිලගන්නා ලදි. රාගග්ග යනු; රාගයෙන්. විජිතය රට තණ්හා වසයෙහි පවත්නා තැනකැයි මෙසේ දැන යන අර්ථයි. නාගොව බන්‍ධනං ජෙත්‍වා යනු; පූතිලතා බැම්ම සිඳ ඇතෙකු මෙන් සම්බෝධියට පැමිණියේ අවබෝධ කරන ලද්දේ. දසසහස්‍රී යනු; දසසහස්‍රියෙහි. සදෙවකෙ යනු; දෙවියන් සහිත ලොව. බුජ්ඣරෙ යනු; අවබෝධ කළහ.
සොණ උත්තර නම් දෑසව්වන්ගේ සමාගමයෙහි පැවිදි වූ අසූදහසක් රහතන් මැද නවම් පුන් පොහෝදින පාමොක් දෙසූහ. එය ප්‍රථම සන්නිපාතය විය. යම්කලෙක මුළු ලොව දිනූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ සමග පැවිදි වූ සැත්තෑ දහසක් පමණ භික්‍ෂූහු ගණාවාසයෙන් බැහැර කළ කල්හි පිටත්වූවාහු ද උන්වහන්සේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ධම්මචක්ක පුවත අසා සෝරෙය්‍ය නම් නුවරට අවුත් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුද උන්වහන්සේලාට දහම් දෙසා ඒ සියලු දෙන එහිභික්‍ෂුභාවයෙන් පැවිදි කරවා සිවු පිරිසෙහි පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතය විය.
යම්දිනක නාරිවාහන නම් නුවර උපසනක නම් රජපුත්‍රයා රජකම් කළේද ඔහුට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ආගමනය අසා පිරිවර සහිතව පෙරගමන් කොට ආරාධනා කොට මහදන් පුදා උන්වහන්සේගේ බණ අසා පහන් සිතින් පැවිදි විය. ඒ සැටදහසක් පමණ පිරිස ඔහු අනුව පැවිදි වූහ. ඔවුහු එතුමන් සමග රහත්වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-