20. සිඛී බුද්ධවංස වර්ණනාව
විපස්සී භාග්‍යවතුන් වහන්සේට පසුභාගයෙහි ඒ කල්පය අතුරුදන් වීමෙන් පසු එකුන්විසි කල්පයක බුදුවරු ලොව පහළ නුවූහ. එහි වනාහි සිඛී භාග්‍යවතුන් වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව අරුණවතී නුවර පරම ගුණ යුත් අරුණවත රජුගේ අගමෙහෙසි පරම රුසිරු රන් පැහැ ඇති පභාවතී දේවිය කුස පිළිසිඳ දසමස් ගෙවා නිපක උයන්හි මවුකුසින් බිහිවූහ. නිමිති කියන්නා උන්වහන්සේට නම් තබන්නාහු සිඛාවක් මෙන් උන්හීසය උඩනැගි හෙයින් සිඛී යයි නම් කළහ. උන්වහන්සේ සත්දහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. සුචන්‍දකසිරි සිරියස නාරිවසභ නම් තුන්පහයක් විය. සබ්බකාමා දේවිය ප්‍රමුඛ සූවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක සබ්බකාමා දේවියගේ ගුණගණයෙන් ආතුල අතුල නම් පුතු උපන් කල්හි ඇත්යානයෙන් උතුම් ඇත්කඳ මත නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. සැත්තෑලක්‍ෂයක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන්හි හැසිර වෙසක් පුන්පොහෝදින ගණ සංගණිකායෙන් මෙන්ම සුදස්සන නියම්ගම්හි පියදස්සී සිටුහුගේ දියණිය දුන් මීකිරිබත් වළඳා තරුණකිණිහිරිවෙනෙහි දිවාවිහාර ගෙවා අනෝමදස්සී නම් තවුසන් දුන් අටතණමිට ගෙන පුණ්ඩරීක බෝධිය වෙත එළඹියහ. ඒ පුණ්ඩරීක බෝධියෙහි දී පාඨලී බෝධිය ප්‍රමාණයම විය. එදිනම එය පනස්රියන් කඳ ඇතිව නැගියේය. එහි ශාඛා ද පනස්රියන් පමණමය. එය දිවසුවඳැති මලින් ගැවසී ගත්තේය. මලින් පමණක්ම නොව පල සහිත ද විය. එහි එක් පැත්තකින් තරුණ ගෙඩිය. එක් පැත්තකින් මැදිවියේ ගෙඩිය. එක පැත්තකින් වඩා නොපැසුණු ගෙඩිය. එක පැත්තකින් පැසුණු දිවඕජා මෙන් සුරස වර්ණ ගන්‍ධ රස සම්පන්න ගෙඩි තැන තැන එල්ලෙයි. එපරිද්දෙන් දසදහසක් සක්වළ මල් හටගන්නා ගස් මලින් පල හටගන්නා ගස් පලින් යුක්ත විය.
උන්වහන්සේ එහි සූවිසි රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්යාධිෂ්ඨානයෙන් වැඩහුන්හ. මෙසේ වැඩහිඳ සතිස් යොදුන්හි පැතිරි මරුසහිත මරබල නසා සම්බෝධියට පත්ව අනෙකජාති සංසාරං යි උදන් අනා බෝ සමීපයෙහිම සත්සති ගෙවා බඹ අයැදුම පිළිගෙන තමන් වහන්සේ සමග පැවිදි වූ සැත්තැලක්‍ෂයක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ මිගාචිර උයන්හි බැස ඒ භික්‍ෂු සමූහයා විසින් පිරිවරන ලද්දාහු ඔවුන් මධ්‍යයෙහි දම්සක් පැවැත්වූහ. එකල කෙළලක්‍ෂයක් දෙනාට ධර්මාවබෝධ විය. එයින් කියන ලදි-
විපස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
සිඛිවහයො ආසිජිනො අසමො අප්පටිපුග්ගලො
මාරසෙනං පභින්‍දිත්‍වා පත්‍වා සම්බොධිමුත්තමං
ධම්මචක්කං පවත්තෙසි අනුකම්පාය පාණිනං
ධම්මචක්කං පවත්තෙන්තෙ සිඛිම්හි ජිනපුංගවෙ
කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහූති
නැවත ද අරුණවතී රාජධානිය සමීපයෙහිම අභිභූ රාජපුත්‍රයාට ද සම්භව රාජපුත්‍රයාට ද යන පිරිවර සහිත දෙදෙනාට දහම් දෙසා නවකෙළ දහසකට දහම් අමා පෙවූහ. එය දෙවන ධර්මාභිසමය විය. එයින් කියන ලදි-