15. ධම්මදස්සී බුද්ධවංස වර්ණනාව
අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අන්තර කල්පය ද ගතවූ පසු අපරිමිත ආයු ඇති සත්ත්‍වයන් පිරිහී වසර ලක්‍ෂයක් ආයු වූ කල්හි ලෝකාලොකතර ලෝකමල නසාලන ලොවට එකම නායක වූ ධම්මදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ද පාරමී පුරා තුසිතපුර ඉපිද ඉන් සැව සරණ නුවර සියලු දෙනාට සරණ සරණ නම් රජුගේ අගමෙහෙසි සුනන්‍දා දේවිය කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ඇවෑමෙන් සරණ උයන්හිදී වැසිකල මේකුළු විවරගත පුන්සඳ මෙන් මවුකුසින් බිහිවූහ. මහාපුරුෂයාණෝ මවුකුසින් බිහිවත්ම අධිකරණ ව්‍යවහාර පුස්තකයන්හි අධාර්මික ව්‍යවහාර තෙම්ම අතුරුදහන් විය. ධාර්මික ව්‍යවහාර පමණක්ම ශේෂ විය. එහෙයින් උන්වහන්සේට නම් තබන දිනයෙහි ධම්මදස්සී කියා නම් කළහ. උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි විසූහ. අරජ විරජ සුදස්සන නම් තුන්පහයක් එතුමන්ට විය. විචිකොලි දේවිය ප්‍රමුඛ දහසකට අධික ස්ත්‍රීහු වූහ.
උන්වහන්සේ සතර නිමිති දැක විචිකොලි දේවිය පුඤ්ඤවඩ්එන නම් පුත්‍රයා ප්‍රසූත කළ කල්හි දෙව්සැප විඳින අතිසුකුමාර දෙව්කුමරකු මෙන් මැදියම් රැයෙහි පිබිද සිරියහන්හි හිඳ නිදිගත් ගැහැණුන්ගේ විප්‍රකාර දැක හටගත් සංවේග ඇතිව අබිනික්මනට සිතූහ. සිතූ කෙණෙහිම උන්වහන්සේගේ සුදර්ශන ප්‍රාසාදය අහසට නැග සිවුරඟසෙන් පිරිවරා දෙවැනි දිවාකරයකු මෙන් දෙව්විමනක් මෙන් ගොස් රත්කරව්රුක් බෝධිය සමීපයෙහි බැසි සිටියේය. මහාපුරුෂයාණෝ බඹහු විසින් එළවන ලද කසාවත් ගෙන පැවිදිව පහයෙන් බැස නුදුරෙහි සිටියහ. පහය නැවත අහසින් ගොස් බෝරුක මැදිකොට පොළවෙහි පිහිටියේය. පිරිවර ස්ත්‍රීහු ද පහයෙන් බැස අඩගව්වක් පමණ ගොස් සිටියහ. එහිදී ස්ත්‍රීන් ද ඔවුන්ගේ සේවිකාවන් ද හැර සියලු මිනිස්සු උන්වහන්සේ අනුව මහණ වූහ. කෙළ ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ.
ඉක්බිති ධම්මදස්සී බෝසත්හු සතියක් ප්‍රධන් කොට විචිකොලි දේවිය දුන් මීකිරිබත් වළඳා ඩෙබර වෙනෙහි දිවාවිහාර කොට සවස සිරිවඩ්ඪ නම් ගවපාලක දුන් අටතණමිට ගෙන බිම්බිජාල බෝධිය වෙත පැමිණ තෙපනස් රියන් පුළුල් තණ ඇතිරි අතුරා එහි සර්වඥතා ඥානය ප්‍රතිවේධකොට උදන් අනා සත්සති ගෙවා බ්‍රහ්මායාචනයෙන් තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ ධර්මාවබෝධ සමර්ථතාව දැන අටළොස් යොදුන් මග එක් දවසින්ම ගෙවා ඉසිපතනයට වැඩ එහිදී ඒ භික්‍ෂූන් පිරිවරා ධම්සක් පැවැත්වූ සේක. එදින කෙළ ලක්‍ෂයකට ප්‍රථම ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
තත්‍ථෙව මණ්ඩකප්පම්හි ධම්මදස්සී මහායසො
තමන්‍ධකාරං විධමිත්‍වා අතිරොචති සාදෙවකෙ
තස්සාපි අකුලතෙජස්ස ධම්මචක්කප්පවත්තනෙ
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූති
එහි තමන්‍ධකාරං යනු; තමස් සංඛ්‍යාත මොහාන්ධකාරය යන අර්ථයි.
යම්කලෙක නගර නම් නුවර සඤ්ජය නම් රජ කාමයන්හි ආදීනවද නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂෙම බවද දැන සෘෂි පැවිද්දෙන් පැවිදි විය. එකල නවකෙළක් ඔහු අනුව පැවිදි වූහ. ඔවුහු සියල්ලෝම පංචාභිඥා අෂ්ටසමාපත්තිලාභීහු වූහ. ඉක්බිති ධම්මදස්සී ශාස්තෘන් වහන්සේ ඔවුන්ගේ උපනිශ්‍රය සම්පත් දැක අහසින් වැඩ සඤ්ජය තාපසයාගේ ආශ්‍රමයට ගොස් අහසෙහි සිට ඒ තාපසවරුන්ගේ අදහස් පරිදි බණ දෙසා ධර්මචක්‍ෂුස ඉපදවූහ. ඒ දෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
යදා බුද්ධො ධම්මදස්සි විනෙසි සඤ්ජයං ඉසිං
තදා නවුතිකොටීනං දුතියාභිසමයො අහූති
යම්කලෙක සක්දෙවිඳු දසබලයන් වහන්සේගේ බණ අසනු රිසිව උන්වහන්සේ වෙත ගියේද එකල අසූකෙළකට තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි.
යදා සක්කො උපගඤ්ජි සහපරිසො විනායකං
තදා අසීතිකොටීනං තතියාභිසමයො අහූති
යම්කලෙක සරණ නුවර සුළුමෑණියන්ගේ පුත් සොහොයුරු පදුම කුමරු ද ඵුස්සදේව කුමරු ද සපිරිවරින් මහණ කළ සේක්ද ඒ ඇතුළුවස පැවිදි වූ කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් මැද විසුද්ධි පවාරණයෙන් පවාරණය කළ සේක. ඒ ප්‍රථම සන්නිපාතය විය. නැවත භාග්‍යවතුන් වහන්සේගේ දෙව්ලොවින් බැසීමෙහි සියකෙළකගේ දෙවන සන්නිපාතය විය. යම් විටක සුදස්සනාරාමයෙහි තෙළෙස් ධුතාංගයන්ගේ ගුණානිසංස ප්‍රකාශකොට හාරිත නම් මහාශ්‍රාවකයන් වහන්සේ එතදග්‍ර ස්ථානයෙහි තුබූ සේක්ද එකල අසූ කෙළක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවන සන්නිපාතය විය. එයින් කියන ලදි-
තස්සාපි දෙවදෙවස්ස සන්නිපාතා තයො ආසුං
ඛීණාසවානං විමලානං සන්තචිත්තානං තාදිනං
යදා බුද්ධො ධම්මදස්සී සරණෙ වස්සං උපාගමී
තදා කොටි සහස්සානං පඨමො ආසි සමාගමො
පුනාපරං යදා බුද්ධො දෙවතො එති මානුසං
තදාපි සතකොටීනං දුතියො ආසි සමාගමො
පුනාපරං යදා බුද්ධො පකාසෙසි ධුතෙගුණෙ
තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමොති
එකල අප බෝසත්හු සක්දෙව්රජව දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුත් දිව්‍යමය ගඳින් මලින් දිව්‍ය තූර්යයෙන්ද තථාගතයන් වහන්සේට පිදීය. ඒ ශාස්තෘන් වහන්සේ ඔහුට මතු ගෞතම නම් බුදුවන්නේ යයි ප්‍රකාශ කළ සේක. එයින් කියන ලදි-