14. අත්ථදස්සී බුද්ධවංස වර්ණනාව
පියදස්සී බුදුන් පිරිනිවි කල්හි උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වූ පසු පිරිහී වැඩී අපරිමිතායුෂ්ක මිනිසුන් වර්ෂ ලක්‍ෂයක් ආයු වූ කල පරමාර්ථදර්ශී අත්‍ථදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව උපන් සේක. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව පරම ශෝභන ශෝභන නම් නුවර සාගර නම් රජුගේ අගබිසෝ සුදස්සන දේවිය කුස පිළිසිඳ දසමස් ගැබ් වැස සුචින්‍ධන උයන්හි මවුකුසින් බිහිවූහ. මහාපුරුෂයන් උපන් කෙණෙහි බොහෝකල් සැඟව ගිය කුලපරම්පරාගත මහනිධන්හි ධනහිමිත්‍ව ලැබූ හෙයින් උන්වහන්සේ නම් ගන්වන දිනයෙහි අත්‍ථදස්සී කියා නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. අමරගිරි සුරගිරි ගිරිවාහන නම් පරම සිත් ගන්නා තුන්පහයක් උන්වහන්සේට විය. [missing trans]
උන්වහන්සේ සතර නිමිති දැක විසාඛා දේවිය සේලකුමාර නම් පුතු වැදූ කල්හි සුදස්සන නම් අස්රජු නැගී මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව නවකෙළක් පුරුෂයෝ මහණ වූහ. ඒ මහපුරිස්හු ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන්කොට වෙසක් පුන්පොහෝදින සම්පූර්ණ ශරීරය ප්‍රදර්ශනය කරමින් සිටි සුචින්‍දර නම් නාගිනියට පිදීම පිණිස මහජනයා විසින් ගෙන එන ලද රන්පාත්‍රය සහිත වූ මීකිරිබත් පුදන ලදුව එය වළඳා සියගණන් තරුණතරුයෙන් සමලංකෘත තරුණසාල වනයෙහි දාවල් දවස ගෙවා සවස ධම්මරුචි නම් නාගයා විසින් දෙන ලද අටතණමිට ගෙන සපුබෝධිය වෙත පැමිණ තෙපනස් රියන් පුළුලැති කුස ඇතිරි අතුරා පර්යංකය වැළඳ සම්බෝධියට පැමිණ සියලු බුදුවරයන් වහන්සේලාට ආචීර්ණ උදන් අනා බෝරුක අසලම සත්සති ගෙවා බඹහුගේ ධර්මායාචනය පිළිගෙන තමන්වහන්සේ සමග පැවිදි වූ නවකෙළක් භික්‍ෂූන් සමග ආර්ය ධර්මාවබෝධයට සමතැන් දැක අහසින් ගොස් අනෝම නුවර ළඟ අනෝම උයන්හි බැස දම්සක් පැවැත්වූහ. එදින කෙළලක්‍ෂයක් දෙනාට පළමු ධර්මාවබෝධය විය.
නැවත ලෝනා භාග්‍යවතුන් වහන්සේ දෙව්ලෝ චාරිකාවෙහි හැසිර එහි දම්දෙසද්දී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්මාවබෝධ විය. යම්කලෙක අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ කපිලපුරයට මෙන් සෝභන නගරයට වැඩ දහම් දෙසූ සේක්ද එකල්හි කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්මාභිසමය විය. මෙය තෙවන අභිසමයයි එයින් කියන ලදි-
තත්‍ථෙව මණ්ඩකප්පම්හි අත්‍ථදස්සී මහායසො
මහාතමං නිහනත්‍වාන පත්තො සම්බොධිමුත්තමං
බ්‍රහ්මුණා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයි
අමතෙන තප්පයී ලොකං දසසහස්සී සදෙවකං
තස්සාපි ලොකනාථස්ස අහෙසුං අභිසමයො තයො
කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූ
යදා බුද්ධො අත්‍ථදස්සි චරති දෙවචාරිකං
කොටිසතසහස්සානං දුතියාභිසමයො අහූ
පුනාපරං යදා බුද්ධො දෙසෙති පිතුසන්තිකෙ
කොටිසතසහස්සානං තතියාභිසමයො අහූති
එහි තත්‍ථෙව යනු; එම කල්පයෙහිම යන අර්ථයි. මෙහි වනාහි වරකල්පය මණ්ඩකල්පයයි අභිප්‍රේතයි. යම් කල්පයක තුන් බුදුකෙනෙක් උපදිත් ද ඒ කල්පය වරකල්පයයි යට පියුමතුරා බුද්ධවංස වර්ණනාවෙහි කියන ලදි. එබැවින් වරකල්පය මෙහි මණ්ඩ කල්පයයි කියන ලදි. නිහනත්‍වා යනු; නසා. පාඨය මෙයම හෝ වෙයි. සමාවිකා යනු; සමාන වූයේ. අමතෙන යනු, මාර්ගඵලාවබොධ නමැති අමා පානයෙන්. තප්පය යනු; තර්පනය කළහ. පිනවූහ යන අර්ථයි. දසසහස්සී යනු දසසහස්‍රී ලෝකධාතුව. දේවචාරිකං යනු; දෙවියන් හික්මවීම පිණිස දිව්‍යලෝක චාරිකාව යන අර්ථයි.