13. පියදස්සී බුද්ධවංස වර්ණනාව
සුජාත බුදුරදුන්ට පසුභාගයෙහි මෙයින් කප් සියයක් අධික දහසක් කපින් මතු එක් කල්පයෙක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී යයි තුන් බුදු කෙනෙක් පහළ වූහ. එහිදී පියදස්සී නම් ශාස්තෘන් වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් චුතව සුධඤ්ඤවතී නුවර සුදස්සන රජුගේ සඳවත් ඇති චන්ද්ර නම් දේවියගේ කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් වරුණ උයන්හි මවුකුසින් බිහිවූහ. උන්වහන්සේට නම් තබන දිනයෙහි ලොවට ප්රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින් පියදස්සී කියාම නම් තැබූහ. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. උන්වහන්සේට සුනිම්මල, විමලා, ගිරිබුහා නම් තුන් පහයක් විය. විමලා මහාදේවිය ප්රමුඛ තෙතිස් දහසක් ස්ත්රීහු උටවැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක විමලා දේවිය කඤ්චන නම් පුතු ප්රසූත කළ පසු ආජඤ්ඤ රථයකින් මහබිනික්මන් නික්ම පැවිදි වූහ. කෙළක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඒ මහා පුරුෂයාණෝ ඔවුන් පිරිවරා සමසක් ප්රධන් කොට වෙසක් පුන් පොහෝ දින වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය විසින් පිදූ මීකිරිබත් වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සුජාත ආජීවක දුන් අටතණමිට ගෙන කුඹුක් බෝධිය වෙත පැමිණ තෙපනස්රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ සර්වඥතාඥානය ප්රතිවේධ කොට උදන් අනා එහිම සත්සති ගෙවා තමන් වහන්සේ අනුව පැවිදි වූවන්ගේ සිවුසස් අවබෝධයට සමර්ථතා දැන අහසින් වැඩ උසභවතී නුවර ළඟ උසභවන උයන්හි බැස කෙළක් භික්ෂූන් පිරිවරා දම්සක් දෙසූ සේක. කෙළ ලක්ෂයක් දෙනාට එදා ධර්මාවබෝධ විය. මේ ප්රථම අභිසමයයි.
නැවත සුභවතී නම් නුවරට නුදුරු සුදස්සන පර්වතයෙහි සුදර්ශන නම් දේවරාජයෙක් වාසය කරයි. ඔහු මිථ්යාදෘෂ්ටිකය. සියලු දඹදිව් වැසි මිනිස්සු ඔහුට අවුරුදු පතා ලක්ෂයක් අගනා බලි පුදකරති. ඒ සුදස්සන දෙව්රජ නරරජු සමඟ එකම අසුනෙහි හිඳ බලි පිළිගනී. එකල පියදස්සී භාග්යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්යරාජයාගේ දෘෂ්ටිගතිය දුරුකරන්නෙමියි ඒ දිව්යරාජයා යක්ෂ සමාගමයට ගිය කල්හි ඔහුගේ භවනයට වැද සිරියහනට නැගී සවනක් රස් පතුරුවමින් යුගඳුරු පර්වතයෙහි සරාහිරු මෙන් හුන් සේක. සුදස්සන යක්රජුගේ පිරිවර පරිචාරිකා දෙවඟනෝ මල්ගඳ විලවුන් ආදියෙන් දසබලයන් වහන්සේට පූජාකොට පිරිවරා සිටියහ.
සුදස්සන දෙව්රජද යක්ෂ සමාගමයෙන් එන්නේ සිය භවනයෙන් සවනක් රස් විහිදෙනු දැක මෙසේ සිතීය. වෙනදා මාගේ භවනයෙහි මෙවැනි නානා රශ්මි ජාලාවෙන් බබළන අසිරියක් නොදිටිමි. කවරනම් දෙවියෙක් හෝ මිනිසෙක් පිවිසියේදෝයි කියා බලන්නේ උදාගිරිකුළු මුදුන්හි සරාකල හිරු මෙන් සවනක් රස්දැලින් බබළමින් හුන් භාග්යවතුන් වහන්සේ දැක මේ මුඩුමහණ තෙම මාගේ පිරිවර ජනයා පිරිවරා වරාසනයෙහි හිඳිනේ යයි ක්රෝධයෙන් මැඩුණු සිතින් දැන් මොහුට මාගේ බල පෙන්වමී සිතා ඒ මුළුමහත් පර්වතය එකම ගිනිජාලාවක් කළේය. මේ ගිනිජාලාවෙන් මුඩුමහණ හළුවන්නට ඇතැයි බලන්නේ නොඑක් රැස්දැල් සමූහයෙන් බබළන සිරුරු ඇති පහන්පැහැ මුවශෝභා ඇති පැහැපත් ඡවිශෝභා යුත් දිදුලන දසබලයන් වහන්සේ දැක මේ මහණ අග්නිදාහය ඉවසයි. දැන් මම මේ මහණ සැඩදිය පහරෙහි ගිල්වා මරමියි ඉතා ගැඹුරු දියපහරක් විමානයට අභිමුඛ කොට පැවැත්වීය.
ඒ විමානය සැඩපහරින් පිරුණු කල වැඩහුන් භාග්යවතුන් වහන්සේගේ සිවුරෙහි අංශු මාත්රයක්වත් සිරුරෙහි රෝම මාත්රයක් වත් නොතෙමිණ. ඉක්බිති සුදස්සන දෙව්රජ මෙයින් ශ්රමණ ආස්වාස රහිතව මිය යන්නට ඇතැයි සිතා දිය වළකා බලන්නේ නිල්මේකුළු විවරගත සරාකල සඳ මෙන් නානා රස්දැලින් බබළන සියපිරිස් පිරිවරා හුන් භාග්යවතුන් වහන්සේ දැක මකුබව දරාගත නොහී දැන් මොහු මරමියි නවවිධ ආයුධ වර්ෂාවක් වැස්සවීය. ඒ භාග්යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු ආයුධ නන් වැදෑරුම් පරම රුචිර දැකුම් ඇති සුවඳ මල්මාලා බවට පත්ව භාග්යවතුන් වහන්සේගේ පාමුල වැටී ගියේය.
එවිට ඒ අසිරිය දැක සුදස්සන දෙව්රජ පරම කුපිත මනසින් භාග්යවතුන් වහන්සේ දෑතින් දෙපයින් ගෙන සිය භවනයෙන් ඇද දමනු රිසිව ඔසවා මුහුද ඉක්මවා සක්වළගලට ගොස් කිම මහණ, ජීවත් වෙයිද මළේදැයි බලන්නේ එම අසුනෙහිම හිඳිනු දැක පුදුමයි, මේ ශ්රමණ මහානුභාවය. මම මේ මහණ මෙතැනින් නෙරපීමට අසමත් වෙමි. ඉඳින් කිසිවකු මා දැනගතහොත් මට අපමණ අපකීර්තියකි. කිසිවකුත් දැනගැනීමට පෙර ඔහු එලවා දමන්නෙමියි සිතීය.
එවිට භාග්යවතුන් වහන්සේ සිත්හසර දැන සියලු දෙවිමිනිසුන්ට පෙනෙන පරිදි අධිෂ්ඨාන කළ සේක. එදින මුළු දඹදිව සියයක් රජවරු ඔහුට උපහාර පිණිස රැස්වූහ. ඒ නරරජවරු භාග්යවතුන් වහන්සේගේ සිරිපා වැඳගෙන සිටි සුදස්සන දෙව්රජු දැක අපගේ දෙව්රජ පියදස්සී ශාස්තෘන් වහන්සේගේ සිරිපා මෙහෙවර කරයි. අපොයි බුදුවරු නම් ආශ්චර්ය වෙති. බුදුගුණ විශිෂ්ටයයි භාග්යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිතින් සියල්ලෝම බුදුන්ට නමස්කාර කරමින් හිසෙහි ඇඳිලි බඳිමින් සිටියහ. එහිදී පියදස්සී භාග්යවතුන් වහන්සේ ඒ සුදස්සන දිව්යරාජයා ප්රමුඛ කොට ධර්මදේශනා කළ සේක. එදින අනූකෙළ දහසක් දිව්යමනුෂ්යයෝ ධර්මාවබෝධ කළහ. එය දෙවන ධර්මාභිසමය විය.