12. සුජාත බුද්ධවංස වර්ණනාව
ඉක්බිති උන්වහන්සේට පසුකල එම මණ්ඩකල්පයෙහිම පිළිවෙලින් අප්‍රමාණ ආයු ඇති සත්ත්වයන් අනුක්‍රමයෙන් පිරිහී අනූදහසක් අවුරුදු ආයු වූ කල්හි මනාරූප කායෙන් පිරිසිදු වූ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ පැරුම් පුරා තුසීපුර ඉපිද ඉන් සැව සුමංගල නුවර උග්ගත නම් රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසිය කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් මවුකුසින් බිහිවූහ. නම් ගන්වන දින නම් කරනුයේ මුළු දඹදිව හැම සත්නට සැප ගෙනදෙමින් උපන්නේ යයි සුජාත කියාම නම් කළහ. උන්වහන්සේ නවදහසක් වස් ගිහිගෙයි විසූහ. සිරි, උපසිරි, නන්‍ද යයි තුන් පහයක් විය. සිරිනන්‍දා දේවිය ප්‍රමුඛ තෙවිසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ.
උන්වහන්සේ සතර නිමිති දැක සිරිනන්‍දා දේවිය උපසේන නම් පුතු වැදූ කල හංසවහ නම් වරතුරඟු නැග මහබිනික්මන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ අනුව කෙළක් දෙන පැවිදි වූහ. ඉක්බිති උන්වහන්සේ ඔවුන් පිරිවරා නවමසක් ප්‍රධන් කොට වෙසක් පුන් පොහෝ දින සිරිනන්‍දන නුවර සිරිනන්‍දන සිටුදියණිය පිදූ පරමමධුර මීකිරිබත් වළඳා සල්වනයෙහි දිවාවිහාර කොට සවස සුනන්‍දා ජීවක දුන් අටතණමිට ගෙන හුණබෝධිය කරා පැමිණ තෙතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා හිරු තිබියදීම මරු සහිත මරබල සිඳ සම්මා සම්බෝධිය අවබෝධ කොට සියලු බුදුවරුන්ට ආචීර්ණ උදන් අනා බෝමැඩ සමීපයෙහිම සත්සති ගෙවා බ්‍රහ්මයා විසින් අයදනා ලදුව සිය බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත පුත් දේ කුමරු ද සිවුසස් අවබෝධ කිරීමට සමත්බව දැන අහසින් වැඩ සුමංගල නුවර ළඟ සුමංගල උයන්හි බැස උයන්පාලක ලවා සිය සොහොයුරු සමග පුරෝහිත පුතු ද කැඳවා සපිරිවර ඔවුන් මැද වැඩහිඳ දම්සක් දෙසූහ. එහි අසූකෝටියකට ධර්මාවබෝධ විය. මෙය ප්‍රථම ධර්මාභිසමයයි.
යම්දාක භාග්‍යවතුන් වහන්සේ සුදසුන් උයන් දොර මහාසාල මූලයෙහි යමක ප්‍රාතිහාර්යය කොට තව්තිසා දෙව්ලොව වස් විසූ සේක් ද එකල සත්තිස් දහසකට ධර්මාවබෝධ විය. මේ දෙවන අභිසමයයි. යම්කලෙක සුජාත දසබලයන් වහන්සේ පියාණන් වෙත වැඩි සේක්ද එකල සැටලක්‍ෂයකට ධර්මාවබෝධ විය. මේ තෙවන අභිසමය විය. එයින් කියන ලදි.
තත්‍ථෙව මණ්ඩකප්පම්හි සුජාතො නාම නායකො
සීහහනු උසභක්‍ඛන්‍ධො අප්පමෙය්‍යො දුරාසදො
චන්‍දොව විමලො බුද්ධො සතරංජීව පතාපවා
එවං සොභති සම්බුද්ධො ජලන්තො සිරියා සදා
පාපුණිත්‍වාන සම්බුද්ධො කෙවලං බොධිමුත්තමං
සුමංගලම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි
දෙසෙන්තෙ පවරං ධම්මං සුජාතෙ ලොකනායකෙ
අසීතිකොටි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ
යදා සුජාතො අමිතයසො දෙවෙ වස්සං උපාගමි
සත්තතිංසසහස්සානං දුතියාභිසමයො අහු
යදා සුජාතො අසමසමො උපගඤ්ජි පිතුසන්තිකං
සට්ඨිසතසහස්සානං තතියාභිසමයො අහූති