10. පදුමුත්තර බුද්ධවංස වර්ණනාව
නාරද බුදුන්ගේ ශාසනය අනූපන්දහසක් අවුරුදු පැවත අතුරුදහන් විය. ඒ කල්පය ද විනාශ විය. ඉන්පසු අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව නූපන්හ. බුද්ධශුන්‍ය බුද්ධාලෝකයෙන් ලොව තොරවිය. එයින් අසංඛ්‍ය කල්පයක් ගතවූ කෙලෙස්බර ඇති මෙර සේ සාර වූ සසර රහිත වූ සත්වසාර වූ සකලලෝකෝත්තර වූ පදුමුත්තර නම් බුදුහු ලොව පහළ වූ. උන්වහන්සේද පාරමී පුරා තුසීපුර ඉපිද එයින් චුතව හංසවතී නුවර සකල ජන ආනන්දකර නන්දන නම් රජුගේ අගමෙහෙසි උත්තමකුල ජනිත සුජාතා දේවිය කුස පිළිසිඳ ගත්හ. දෙවියන් විසින් කරන ලද ආරක්ෂා ඇති ඕතොමෝ දසමස් ඇවෑමෙන් හංසවතී උයන්හි පියුමතුරා කුමරු ප්‍රසූත කළාය. උන්වහන්සේගේ පිළිසිඳීමෙහි උපතෙහි යට කී ආකාර පෙළහර සිදුවිය.
උන්වහන්සේගේ උපතෙහි පියුම්වැසි වැස්සේය. එයින් උන්වහන්සේ නම්ගන්වන දින නෑයෝ පදුමුත්තර කියා නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. නරවාහන, යසවාහන, වසවත්ති නම් තුන් ඍතුවට යෝග්‍ය තුන්පහයක් විය. වසුදත්තා දේවිය ප්රමුඛ එක්ලක්ෂ විසිදහසක් ස්ත්‍රීහු උවටැන් කළහ. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල සතර නිමිති දැක මහබිනික්මන් කරමියි සිතූහ. සිතු කෙණෙහිම වසවත්ති නම් පහය කුඹල් සකක් මෙන් අහසට නැග දෙව්විමනක් මෙන් පුන්සඳ මෙන් අහසින් ගොස් බෝරුක මැදිකොට සෝභිත බුද්ධ වර්ණනාවෙහි ආ ප්‍රාසාදය මෙන් බිමට බැස්සේය.
මහපුරිස්හු ඒ පහයෙන් බැස වෙසක් පුන් පොහෝ දින උදේ නිගමයෙහි රුචිනන්දා සිටු දියණිය දුන් මීකිරිබත වළඳා සල්උයන්හි දිවාවිහාර කොට සවස්හි සුමිත්තාජීවකයක් දුන් අටතණමිට ගෙන සල්ල බෝධිය වෙත ගොස් පැදකුණු කොට අටතිස් රියන් පුළුලැති තණඇති අතුරා පලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨානයෙන් මරුසහිත මරබල නසා පෙරයම පෙරවිසීම් සිහිකොට දෙවන යාමයෙහි දිවැස පිරිසිදු කොට තෙවන යාමයෙහි ප්‍රත්‍යයාකාරය මෙනෙහිකොට ආනාපාන චතුර්ථධ්‍යානයෙන් නැගී පස්කඳෙහි වැද උදයව්‍යය වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් ලකුණු දැක ගෝත්‍රභූ ඤාණය තෙක් වඩා ආර්යමාර්ගයෙන් සියලු බුදුගුණ ප්‍රතිවේධ කොට සියලු බුදුවරුන්ට ආවෙණික අනේකජාති සංසාරං -පෙ- යන උදන් ඇනූහ. එකල දසදහසක් සක්වළගැබ අලංකාර කරන්නාක් මෙන් පියුම් වැසි වැස්සේය. එයින් කියන ලදි-
නාරදස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
පදුමුත්තරො නාම ජිනො අක්ඛොබ්භො සාගරූපවො
පදුමුත්තරො නාම ජිනො අක්ඛොබ්භො සාගරූපවො
මණ්ඩකප්පො ච සො ආසි යම්හි බුද්ධො අජායථ
උස්සන්නකුසලා ජනතා තම්හි කප්පෙ අජායථාති
උස්සන්නකුසලා ජනතා තම්හි කප්පෙ අජායථාති