8. පදුම බුද්ධවංස වර්ණනාව
අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ පසුකාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දසවස් ආයුෂව නැවත කෙමෙන් වැඩී අසංඛ්‍යායාෂ්කව නැවත පිරිහෙන්නාහු ලක්‍ෂයක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. එකල පදුම නම් බුදුහු ලොව උපන්හ. උන්වහන්සේ පාරමී පුරා තුසිත භවනයෙහි ඉපිද එතැනින් චුතව චම්පානුවර අසම නම් රජකුල රූපාදියෙන් අසම අසමා නම් අගමෙහෙසි කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේ දසමස් ගෙවීමෙන් චම්පක උයන්හි මවුකුසින් නික්මුණහ. කුමරු උපන් කල්හි අහසින් මුළු දඹදිව මුහුද හිම් කොට පියුම් වැස්සක් වැස්සේය. එහෙයින් උන්වහන්සේට නම් තබන දිනයෙහි නම් තබන්නේද නෑයෝ ද මහාපදුමකුමාර කියාම නම් කළහ. උන්වහන්සේ දසදහසක් අවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර වසුත්තර යසුත්තර නාම තුන්පහයක් විය. උත්තරා දේවිය ප්‍රමුඛ තෙතිස් දහසක් ස්ත්‍රීහු පරිවාරය වූහ.
ඉක්බිති මහසත්හු උත්තර මහදේවිය රම්ම කුමරු බිහිකළ කල්හි සතර නිමිති දැක අජෙඤ්ඤ රථයෙන් මහබිනික්මන් කළහ. පැවිදිවන උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. උන්වහන්සේ ඔවුන් පිරිවරා අටමසක් ප්‍රධන් වීර්යය කොට වෙසක් පුන්පොහෝ දින ධඤ්ඤවතී නුවර සුඛඤ්ඤ සිටුහුගේ ධඤ්ඤවතී නම් දියණිය පිදූ මීකිරිබත් වළඳා මීඅඹ උයන්හි දිවාවිහාර කොට සවස තිත්‍ථක ආජීවක දුන් අටතණමිට ගෙන කොටිල බෝධිය වෙත පැමිණ අටතිස් වියන් පුළුලැති තණ ඇතිරි අතුරා පලක් බැඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට මරබල නසා තුන්යම්හි ත්‍රිවිද්‍යා පසක් කොට අනේකජාති ආදීන් උදන් අනා බෝධි සමීපයෙහිම සත්සති ගෙවා බඹ ඇරයුම පිළිගෙන ධර්මදේශනයට බඳුන්වන පුද්ගලයන් විමසන සේක් තමන් සමග පැවිදි වූ කෝටියක් පමණ භික්‍ෂූන් දැක එකෙණෙහිම අහසින් ධඤ්ඤවතී නුවර අසල ධනඤ්ඤයි උයන්හි බැස ඔවුන් පිරිවරා ඔවුන් මැඳ දහම්සක පැවැත්වූහ. එකල සියක්කෝටියකට ධර්මවබෝධය විය. එයින් කියන ලදි-
අනොමදස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො
පදුමො නාම භවෙන අසමො අප්පටිපුග්ගලො
තස්සාපි අසමං සීලං සමාධිපි අනන්තකො
අසංඛෙය්‍යං ඤාණවරං විමුත්තීපි අනූපමං
තස්සාපි අතුල තෙජස්ස ධම්මචක්කප්පවත්තතො
අභිසමයා තයො ආසුං මහාතමපවාහනන්ති
එහි අසමං සීලං යනු; අන් ශීලයෙන් අසම උත්තම ශ්‍රේෂ්ඨ යන අර්ථයි. සමාධිපි අන්නතකො යනු; සමාධි ද අප්‍රමෙයය. එහි අනන්ත බව ලෝකවිවරණ යමක ප්‍රාතිහාර්යාදියෙහි දතයුතුය. ඤාණවරං යනු; උතුම් සර්වඥතාඥානයයි. අසාධාරණඤාණ හෝ වෙයි. විමුත්තිපි යනු; භාග්‍යවතුන් වහන්සේගේ අර්හත්‍ථඵල විමුක්තියයි. අනුපමා යනු; උපමා රහිතය. අතුතෙජස්ස යනු; අතුල ඤාණතේජස් ඇත්තවුන්ගේ. අතුලතෙජා යනු ද පාඨයි. උන්වහන්සේගේ අභිසමය තුන. මෙහි උත්තර පදය හා සම්බන්‍ධය ගතයුතුය. මහාතම පවාහනා යනු; මහා මෝහ විනාසක යන අර්ථයයි.
පසුකලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ සිය බාල සොහොයුරු සාල කුමරු ද උපසාල කුමරු ද සපිරිවර ඤාතිසමාගමයෙහි පැවිදි කරවා ඔවුන්ට ධර්ම දේශනා කරද්දී අනූ කෙළකට දහම් අමා පෙවූහ. යම් විටක රම්ම තෙරුන්ට දහම් දෙසූ සේක්ද එකල්හි අසූ කෝටියක් තෙවන ධර්මාවබෝධය විය. එයින් කියන ලදි-
පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයී
දුතියාභිසමයෙ යෙ ධීරො නවුතිකොටිමබොධයී
යදා ච පදුමො බුද්ධො ඔවදි සකමත්‍රජං
තදා අසීති කොටීනං තතියාභිසමයො අහූති
යම්දාක මනාව වැඩූ ජීවිත ඇති භාවිතාත රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළලක්‍ෂයක් දෙන පිරිවරා ඒහිභික්‍ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ සමාගමයෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. මෙය ප්‍රථම සන්නිපාතයයි.
පසුකලෙක මහාපදුම මුනිවරයාණෝ උසභගමනින් උසභවති නුවර සමීපයෙහි වස්විසූහ. නුවරු බුදුන් දකිනු රිසිව වෙත ගියහ. බුදුහු ඔවුන්ට බණ දෙසූහ. එහිද බොහෝ පහන්සිත් ඇති මිනිස්සු පැවිදි වූහ. දසබලයාණෝ ඔවුන් ද වෙනත් තුන් ලක්‍ෂයක් භික්‍ෂූන් සමග විසුද්ධි පවාරණයෙන් පවාරණය කළ සේක. එය දෙවන සමාගමය විය. යමෙක් එහි පැවිදි වූවාහු ද ඔවුහු කඨිනානිසංස අසා පෑලවියෙහි පස්මසක් පස් ආනිසංසයක් දෙන කඨින සිවුරක් පිදූහ. ඉක්බිති භික්‍ෂූහු ඒ කඨින සිවුර ඇතිරීම සඳහා මහාප්‍රාඥ ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක සාල තෙරුන්ට ආයාචනා කොට කඨින සිවුර උන්වහන්සේට දුන්හ. තෙරුන්ට කඨින සිවුර පිළියෙල කරද්දී මැසීමෙහි භික්‍ෂූහු සහාය වූහ. පදුම සම්බුදුරජාණන් වහන්සේ ඉඳිකටු මලෙහි නූල් අමුණා දුන් සේක. සිවුර නිමවූ පසු භාග්‍යවතුන් වහන්සේ තුන්ලක්‍ෂයක් භික්‍ෂූන් සමග චාරිකාවෙහි වැඩි සේක.