රතනචංකමන කාණ්ඩ වර්ණනාව
දැන් වනාහි;
ලෝකාධිපති සහම්පති බ්‍රහ්මයා ද ඇඳිලිබැඳ “මෙහි අල්පරජස්ක සත්ත්‍වයෝ සිටිති. ධර්මය දේශනා කරනු මැනවි. මේ ප්‍රජාවට අනුකම්පා කරනු මැනවි” කියා බුදුරජාණන් වහන්සේට ආයාචනා කළේය.
ආදි නයින් පවත්නා අභ්‍යන්තර නිදානයෙහි අර්ථ වර්ණනය වෙයි.
එහි එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කලන්දකනිවාප නම් වේළුවනයෙහි වසන සේක යන ආදී සූත්‍රාන්තවල මෙන් එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තු නගරය අසල නිග්‍රෝධාරාමයෙහි වසන සේක. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් බුද්ධවංසය විචාළහයි මේ ආදි නයින් නිදානය නොකියා කුමක් හෙයින් “ලෝකාධිපති සහම්පති බ්‍රහ්මයා ද ඇඳිලිබැඳ බුදුරජාණන් වහන්සේට ආයාචනා කළේයයි ආදි නයින් නිදානය කියන ලද්දේද? යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ධර්මදේශනාවලට කාරණ වූ බඹහුගේ ධර්මදේශනා ආයාචනය දැක්වීම පිණිස කියන ලදි.
කවරදා මේ ධර්මදේශනාව සඳහා බඹහු විසින් ජිනයන් වහන්සේට ආරාධනා කරන ලදද? කවදා කොහිදී කවුරුන් විසින් මේ ගාථාව කියන ලදද?
කියනු ලැබේ. බුදුවූ භාග්‍යවතුන් වහන්සේට අටවන සතියෙහි දහම් දෙසීම පිණිස බඹහු විසින් ආරාධනා කරන ලදි. ආයාචනා කරන ලදි. මේ එහි පිළිවෙළ කථාවයි. කරන ලද අභිනීහාර ඇති මහාපුරුෂයාණෝ මහබිනික්මන් දිනයෙහි විවෘත ප්‍රකට පිළිකුල් සහගත නිදන තරුණ නළඟනන් දැක අතිශයින්ම සංවේගයට පත් හදින් වෙනම තැනක රැඳී සිටි ඡන්න අමතා සතුරු රජුන් මථනය කරන කන්ථක නම් උතුම් අසු ගෙනෙවයි ගෙන්වාගෙන ඡන්න සමගින් වරතුරඟු පිට නැගී නුවර දොර අධිගෘහිත දේවතාවා විසින් නුවර දොර විවර කළ කල්හි නුවරින් නික්ම එම රාත්‍රියෙහිම තුන් රජයක් පසුකොට උතුම් සත්වයාණෝ අනෝමා නම් ගංතෙර සිට ඡන්නට මෙසේ කීහ. ඡන්නය, තෙපි මාගේ මේ අන්‍යයන් විසින් නොදැරිය හැකි අබරණ ද කන්ථක වරතුරඟු ද ගෙන කපිලපුරයට යව් කියායි. ඡන්න පිටත්කොට කාලසර්ප නීලොත්පල වන් අසිපතින් කෙහෙ සහිත මෞලිය සිඳ අහසට දමා දෙවියන් දුන් පාසිවුරු ගෙන තෙමේම පැවිදිව පිළිවෙළින් චාරිකාවෙහි යෙදෙමින් වාත වේගයෙන් උඩනැගෙන රළබිඳුම් ඇති නො ඇලෙන ගංගා නදිය තරණය කොට මිණිගණරස්දැලින් දිදුලන රජගෙවලින් යුත් රජගහ නුවරට පිවිස එහි ඉසුරුමදමත් ජනයාට නිගාදෙමින් මෙන් උඩඟු ජනයාට ලජ්ජා උපදවමින් මෙන්ද රස්දහරින් නුවර දන හට තමන් වෙත බැඳගන්නාක් මෙන්ද දෙතිස් මහපුරිස් ලකුණින් බබළන රූසිරින් සියලු දනනුවන් කළඹන්නාක් මෙන්ද රූපී ඇවිදිනා පින්පිඬක් මෙන් අහස නොගැටෙන පර්වතයක් මෙන් ද ශාන්ත ඉඳුරන් ඇතිව ශාන්ත මනසින් වියදඬු පමණ දුර බලමින් රජගහ නුවර පිණ්ඩපාතයෙහි හැසිර යැපෙන පමණ අහර ගෙන නුවරින් නික්ම පණ්ඩව පව් පසෙක සෙවණ පැන් ඇති මහා බිම්කඩෙක පරම රමණීය විවේක ස්ථානයක හිඳ පස්විකුම් බෙලෙන් මිශ්‍ර බත් වළඳා මන්දාරගිර මෙන් සාර නරසාර බිම්බිසාර මගධ මහරජු මහාපුරුෂයන් කරා ගොස් නම්ගොත් විමසා එයින් පුබුදින සිතින් මාගේ රාජ්‍යයෙන් කොටසක් ගනු මැනවැයි රාජ්‍යයෙන් ආරාධනා කරද්දී මහරජ, මට රාජ්‍යයෙන් කම් නැත. මම රාජ්‍යය අත්හැර ලෝකාභිතාර්ථය සඳහා ප්‍රධන් වීර්යයෙහි යෙදී ලොව කෙලෙස් පහකොට බුදුවන්නෙමි’යි කියා නික්මුණෙමියි පවසා, එසේ නම් බුදුව හැමට පළමු මාගේ විජිතයට වැඩිය මැනවැයි කී කල්හි මැනවැයි ඔහුට ප්‍රතිඥා දී ආළාර වෙත ද, උද්දක වෙත ද පැමිණ ඔවුන්ගේ ධර්ම දේශනාවල හරයක් නොදැක එතැනින් නික්ම උරුවේලාවෙහි සමසක් දුෂ්කරක්‍රියා කොටත් නිවන් අවබෝධ කළ නොහැකිව ඔළාරික අහර ගැනීමෙන් සිරුර සැතැප්වූහ.
එකල වනාහි උරුවෙලාවෙහි සේනානි ග්‍රාමයෙහි සේනානි කෙළෙඹි දූ සුජාතා දැරිය වියපත්ව එක් නුග රුකෙක්හි ප්‍රාර්ථනයක් කළාය. ඉදින් මම සමජාතික කුලගෙයකට ගොස් පළමුගැබ පුතකු ලදිම් නම් බිලියම් කරමි කියායි. ඇගේ එම පැතුම ඉටුවිය. ඕතොමෝ වෙසක් පුන්පොහෝ දින අද බිලියම් කරමියි පාන්දරම අනායාස පරමමධුර පායාසය පිළියෙළ කළාය. බෝසත්හුද එදිනම සිරුරු පිළිදැඟුම් කොට පිණ්ඩපාත වේලාව අපේක්‍ෂාවෙන් පාන්දරම ගොස් ඒ නුගරුකමුල හුන්හ. ඉක්බිති ඇගේ කිරිමව පුණ්ණා නම් දස්ස ගසමුල පිරිසිදු කිරීමට ගොස් නැගෙනහිර දිශාව බලා වැඩහුන් සන්‍ධ්‍යාකාන්ති රැඳි උතුම් රන්ගිරිකුළක් වන් ශරීර ශෝභා ඇති අඳුරුකඳ නසන පියුම්වන පොබයන මේඝ විවරගත දිව්‍යකරයා බඳු රුක්මුල්හි හුන් මුනිදිවාකරයන් දුටුවාය. උන්වහන්සේගේ සිරුරින් නිකුත් කාන්තියෙන් රන්වන් වූ ඒ වෘක්‍ෂය ද දැක ඇයට මෙසේ සිත් විය. අද අපගේ දේවතාවා ගසින් බැස සියතින්ම බලි පිළිගනු කැමතිව සිටුනේය කියාය. ඕ වහා ගොස් සුජාතාවන්ට ඒ බව කීවාය.
ඉක්බිති සුජාතා හටගත් සැදැහැයෙන් සර්වාලංකාරයෙන් සැරහී ලක්‍ෂයක් අගනා රන්තලිය පරම මධුර මීකිරිබතින් පුරවා තවත් රන්තලියකින් වසා හිසින් ගෙන නුගරුක බලා ගියාය. යන්නා වූ ඕතොමෝ දුරදීම ඒ මුළුමහත් රුක ශරීරාලෝකයෙන් රන්වන් කරමින් රූපවත් පින්පිඬක් වන් වෘක්‍ෂ දේවතාවා මෙන් වැඩහුන් ඒ බෝසතුන් දැක සතුටු සොම්නස් සිතින් වෘක්‍ෂ දේවතාය යන හැඟීමෙන් දුටු තැන් පටන් නැමි නැමී ගොස් හිසින් රන් පාත්‍රය බහා මහසතුන් අත තබා පසඟ පිහිටුවා වැඳ මාගේ මනදොළ පිරුණු පරිද්දෙන් ඔබගේ මනදොළ ද සපිරේවායි කියා ගියාය.
ඉක්බිති බෝසත්හු ද රන්තලිය ගෙන නේරඤ්ජරා ගංතෙරට පැමිණ සුප්‍රතිෂ්ඨිත නම් තොටුපළ අද්දර රන්තලිය තබා ස්නානය කොට ගොඩනැගී එකුන්පනස් පිඬක් කොට ඒ කිරිබත් වළඳා ඉඳින් අද මම බුදුවන්නෙම් නම් මේ රන්තලිය උඩුගං බලා යේවායි දැමූහ. ඒ පාත්‍රය උඩුගං බලා ගොස් කාළ නම් නාරජුගේ භවනයට පිවිස තුන් බුදුවරුන්ගේ තළි ඔසවා ඒ යටින් පිහිටියේය.