එහි සත්තුත්තමො යනු; ශීලාදි ගුණවලින් සියලු සත්ත්වයන් විෂයෙහි උතුම් පවර ශ්‍රේෂ්ඨයයි සත්තුත්තම යි. සත්තං යනු විඤ්ඤාණයට ද නමකි. එහෙයින් දසබල චතුර් වෛශාරද්‍ය අසාධාරණ ඤාණ සංඛ්‍යාත විඤ්ඤාණයෙන් ශ්‍රේෂ්ඨ උත්තමයා යි. සත්තුත්තම වෙයි. සත්තො උත්තමො සත්තුත්තමො යනු සමානාධිකරණ වශයෙනි. ඉඳින් මෙසේ උත්තමසත්තො යි කිවයුත්ත උත්තම ශබ්දය පූර්වයෙන් යොදා කීමෙන් මෙය දොසෙක් නොවේ. අනියමින් බාහුල්‍ය කථනයෙන් නරුත්තම පුරිසුත්තම නරවර ආදි ශබ්ද මෙන් දතයුතුය. නැතහොත් සත්ත උත්තමං යස්ස සො සත්තුත්තමො, මෙහිද උත්තම ශබ්දයාගේ මුලින් යෙදීම වෙයි. උත්තමසත්තො යි විශේෂණය මුලින් යොදා කීමෙන් චිත්තගු පංචගු යන තන්හි මෙනැයි මෙය දොසක් නොවේ. උභය විශේෂණ විසින් හෝ ආහිතග්ගි ආදි පාඨ මෙන් දතයුතුයි. විනායකො යනු; බොහෝ වූ විනය, උපායවලින් සත්ත්වයන් හික්මවති. දමනය කරතී විනායක නමි. සත්‍ථා යනු; මෙලොව පරලොව අර්ථයන්ගෙන් සුදුසු පරිදි සත්ත්වයන්ට අනුශාසනා කරන්නේ සත්‍ථායි. අහූ යනු; විය. දේවමනුස්සපූජිතො යනු; පස්කම් ගුණයෙන් විනෝද වෙති, ක්‍රීඩා කෙරෙතියි දෙවියෝය. මනසෙහි උස්සන්නතාවෙන් මනුෂ්‍යයි. දේවා ච මනුස්සාච දෙව්මිනිසුන් විසින් පුදන ලද්දේ දෙවමනුස්සපූජිතො යි පුෂ්පාදි පූජාවෙන් ද ප්‍රත්‍ය පූජාවෙන් ද පුදන ලද්දේ බුහුමන් කරන ලද්දේ යන අර්ථයයි. කුමක් නිසා දෙව්මිනිසුන් පමණක් ගන්නා ලදද? කිම? භාග්‍යවතුන් වහන්සේ තිරිසන්ගතයන් විසින් ද ආරවාල, අපලාල, ධනපාල, පාරිලෙය්‍යක ඇතුන් විසින් ද සාතාගිරි, ආලවක, සූචිලොම, ඛරලොම යක්‍ෂාදීන් විසින් ද පුදන ලද්දාහු වෙත්මය. උත්කෘෂ්ට සීමා වශයෙන් ද භව්‍ය පුද්ගල වශයෙන් ද මෙය කියන ලදැයි දතයුතුය. මහානුභාවො යනු; මහත් බුද්ධානුභාවයෙන් යුක්ත වූවාහුයි. සතපුඤ්ඤලක්‍ඛණො යනු; අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්‍ඛණයයි කියනු ලැබේ. සමහරු වනාහි සියය සියය පින්කම්වලින් නිපන් එක් එක් ලක්‍ෂණ ඇත්තාහයි කියති. මෙසේ ඇති කළ යම් කිසිවෙක් බුදුවන්නාහයි අර්ථ කථාවල යොදන ලදි. දස්සෙසි යනු; සියලු දෙව්මිනිස් ආදීන්ට අතිශයින් විස්මය ජනක යමක ප්‍රාතිහාර්යය දැක්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහස්හි යමක ප්‍රාතිහාර්යය කොට මහජනයාගේ සිත්හසර බලන්නාහු ඔවුන්ගේ අදහසට අනුකූල ධර්ම කථාවක් සක්මන් කරනු කැමතිව අහස දසදහසක් සක්වළ පැතිරි සර්වරත්නමය සක්මනක් මැවූහ. එයින් කියන ලදි:-
යො යාචිතො දෙවචරෙන චක්‍ඛුමා
අත්‍ථං සමෙකඛිත්‍ව තදා නරුත්තමො
චංකමං තත්‍ථ මාපයි ලොකනායකො
සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතන්ති
අත්‍ථං සමෙකඛිත්‍ව තදා නරුත්තමො
චංකමං තත්‍ථ මාපයි ලොකනායකො
සුනිට්ඨිතං සබ්බරතනනිම්මිතන්ති
එහි සො යනු; ඒ ශාස්තෘන් වහන්සේ. යාචකො යනු; පළමුවෙන්ම අටවැනි සතියෙහි ධර්මදේශනය සඳහා අයදනා ලද්දේ යන අර්ථයි. දෙවවරෙන යනු; සහම්පතී බඹහු විසින්, චක්‍ඛුමා යනු; මෙහි චක්‍ඛතීති චක්‍ඛු සම විසම විභාවනය කරයි යන අර්ථයි. ඒ චක්‍ෂුස ද්විවිධය නැණැස මසැස කියායි. එහි නැණැස පස්වැදෑරුම්ය. බද්ධචක්‍ඛු ධම්මචක්‍ඛු සමන්තචක්‍ඛු දිබ්බචක්‍ඛු පඤ්ඤාචක්‍ඛු යනුවෙනි. එයින් බුද්ධචක්‍ඛු නම් ආසයානුසය ඤාණයක් ඉන්‍ද්‍රිපරොපරියත්ති ඤාණයක්ය. යමක් බුද්ධචක්‍ඛු නා ලොකං ඔලොකෙති කියා ආයේද එයයි. ධම්මචක්‍ඛු නම් යටත් පිරිසෙයින් තුන්මහ තුන් ඵලයයි. යං විරජං වීතමලං ධම්ම-ධම්මචක්‍ඛු යන තැන ආයේ ද එයයි. සමන්තචක්‍ඛු නම් සබ්බඤ්ඤුත ඤාණයයි. යං තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමාතචක්‍ෂුයි ආයේ ද එයයි. දිබ්බචක්‍ඛු නම් ආලෝක වර්ධනයෙන් උපන් අභිඥා සිතෙන් සම්ප්‍රයුක්ත ඤාණයයි. යමක් දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන යනුවෙන් ආයේද එයයි. පඤ්ඤාචක්‍ඛු නම් චක්‍ඛුං උදපාදි ඤාණං උදපාදි යන මෙහි පුබ්බෙනිවාසාදි ඤාණය පඤ්ඤාචක්‍ඛු ආයේය.
මංස චක්‍ඛු නම් චක්‍ඛුං ච පටිච්ච රූපෙච ය මෙහි මංසචක්‍ඛු කියන ලදි. එහි යම් මේ අක්‍ෂිකූපයෙහි ඇසිපිහාටුවලින් පිරිවරන ලද මස් පිඬුවයි. යම් තැනෙක්හි ධාතුසතර වර්ණ, ගන්‍ධ, රස, ඕජා සමඟම ජීවිත භාව චක්‍ඛුප්පසාද කායප්පසාද යයි තෙලෙස් සම්භාරයෙන් වෙති. විස්තර වශයෙන් සම්භව සමුට්ඨාන සතිසය ජීවිත භාව චක්‍ඛුප්පසාද කායප්පසාද යන කර්ම සතරද යන සතලිස් සම්භාරයෝ වෙති. මේ වනාහි සසම්භාර චක්‍ෂුසයි. යම් ඒ ශ්වෙත මණ්ඩලයෙන් සීමාවූ කෘෂ්ණ මණ්ඩලය පිරිවැරූ දෘෂ්ටි මණ්ඩලයෙහි පිවිසි රූප දැක්මට සමත් ප්‍රසාද මාත්‍රයක් වේද මෙය ප්‍රසාද චක්‍ෂුස නමි. මේ සියල්ල ඒකවිධය. අනිත්‍ය වශයෙන් සංඛත වශයෙන් එකාකාරය. සාස්‍රව අනාස්‍රව වශයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම්ය. භූමි වශයෙන් උපාදන්නත්තික වශයෙන් තෙවැදෑරුම්ය. එකන්ත පරිත්ත අප්පමාණ අනියත ආරම්මණ වශයෙන් සිව්වැදෑරුම්ය. රූප නිබ්බාන, අරූප සබ්බාරම්මණ නානාරම්මණ වශයෙන් පස්වැදෑරුම්ය. බුද්ධචක්‍ඛු ආදි වශයෙන් සවැදෑරුම් වෙයි. මෙසේ කියූ පරිදි මේ ඇස් බුදුරදුන්ට ඇත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ චක්‍ඛුමායි වෙති. මාපධි යනු; මැවූහ. ලෝකනායකො යනු; ලෝකය ස්වර්ග මෝක්‍ෂාභිමුඛයට ගෙන යන සේක්නුයි නායක නමි. සුනිට්ඨිතං යනු; මනාව නිමවන ලදි. අවසන් කළේය යන අර්ථයි. සබ්බරතනනිම්මිතං යනු; දසවිධ රත්නමය.