89. බෝධිසිඤ්චක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බෝධිසිඤ්චක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවලදී පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සසුනෙහි පැවිදිව වත්පිළිවෙතින් සසුන බබලවන්නේ මහජනයා බෝධිපූජා කරනු දැක නොයෙක් මල්ද සුවඳ පැන්ද ගෙන්වාගෙන පූජා කළේය. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ කාමාවචර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ උපන් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.
රහත් ව සාසනඵල අනුභව කරන්නේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේන ‘විපස්සිස්ස භගවතො මහාබොධිමහො’ යනාදිය කීය. එහි විශේෂයෙන් පරම වූ නිර්වාණය බලානුයි විපස්සී නමි. විපස්සන්තො චතුරාර්ය සත්යය දක්නාසුලුනුයි විපස්සි නමි. විශේෂයෙන් ශ්රද්ධාවත් අශ්රද්ධාවත් ජනයන් බලානුයි විපස්සි නමි. ඒ විපස්සි භාග්යවතුන් වහන්සේගේ මහාබෝධි උත්සවය විය යන සම්බන්ධයි. එහිද මහාබොධී යනු සතරමග ඥානය බෝධියයි කියනු ලැබේ. එය මෙහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ අවබෝධ කළසේක්නුයි කිණිහිරි රුකද බෝධියයි කියනු ලැබේ ම ය. දෙව්බඹුන් නරන් විසින් පුදන ලද්දේ එය බෝධි යනුයි මහාබෝධි නමි. මහත් වූ භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ බෝධි හෝනුයි මහාබොධි නමි. එයට මහා පූජාවක් විය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
බොධිසිඤ්චක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
90. පදූමපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
පොක්ඛරවනං පවිට්ඨොහං යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පද්මයන්ගෙන් යුතු එක් පොකුණකට පිවිස නෙළුම් අල කන්නේ පොකුණ නුදුරෙහි වසනා ඵුස්ස භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ එයින් නෙළුම් මල් නෙළා අහසෙහි ඔසවා භාග්යවතුන් වහන්සේ පිදීය. ඒ මල් අහසෙහි වියනක් ව සිටියේය. හේ බෙහෙවින් පැහැදුණු සිතැත්තේ පැවිදි ව පිළිවෙත් සරු වූයේ මහණදම් පුරා එයින් චුතව තුසිත භවනය අලංකාර කරමින් මෙන් එහි ඉපිද ක්රමයෙන් කාමාවචර සම්පත්ද මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පොක්ඛර වනං පවිට්ඨො’ යනාදිය කීය. එහි මනාව දඬුකොළ ආදියෙන් වැගිරෙත්නුයි පොක්ඛරානි. පොකුණු සමූහය යනුයි පොක්ඛර වනය. නෙළුම් පඳුරු මඬුලුවලින් අලංකෘත මධ්යයට මම පිවිසියෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.
පදුම පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
නවවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
10. සුධා වර්ගය
91. සුධාපිණ්ඩිය ථේර අපදාන වර්ණනාව
පුජාරහෙ පූජයතො යනාදි වශයෙන් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි භාග්යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී පිනක් කරන්නට නොහැකි වූයේ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන්කොට චෛත්ය කරනු ලබන කල්හි හුණු පිඬු දුන්නේය. හේ එම පිනින් අනූහතර වැනි කල්පයෙහි පටන් මේ අතරතුර සතර අපාය නො දැක දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පූජාරහෙ’ යනාදිය කීය. එහි පූජාරහ නම් බුදු පසේබුදු ශ්රාවක ආචාර්ය උපාධ්යාය මව්පිය ගුරු ආදීහුය. ඒ පූජාවට සුදුස්සන් කෙරෙහි මල්දම් පහන් සුවඳදුම් වස්ත්රාභරණ ආදී සිව්පසයෙන් පූජයතො පුදන්නාවූ පුද්ගලයාගේ පින් කොටස දහස සියදහස ආදි වශයෙන් ගණන් කිරීමට කිසිදු මහානුභාව ඇත්තකු විසින්වත් නොහැක්කේය යන අර්ථයි. හුදෙක් ජීවත්වන්නා වූ බුද්ධාදී උත්තමයන්ට පුදන්නහුට පමණක් නොව, පිරිනිවි භාග්යවතුන් වහන්සේගේ චෛත්ය ප්රතිමා බෝධි ආදිය කෙරෙහිද මෙම ක්රමයමය.