77. සුචිදායක ථේර අපදාන වර්ණනාව
තිංසකප්ප සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ භාග්යවතුන් වහන්සේගේ සිවුරු මැසීමට ඉඳිකටු පහක් දුන්නේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර පින් අනුභවකොට හැසිරෙන්නේ උපනුපන් භවයෙහි තියුණු ප්රඥා ඇත්තේ ව උපන්නේ ය. මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වන්නේ තියුණු ප්රඥා ඇති බැවින් හිසමුඩු කරද්දීම රහත් බවට පත්විය.
උන්වහන්සේ පසුකලෙක පින නැවත බලන්නාහු ඒ දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘තිංස කප්ප සහස්සම්හි’ යනාදිය කීහ. මෙහි අතරතුර පහසුවෙන් දතහැක්කේමය.
පඤ්චසූචි මයා දින්නා යනු සූවති සිදුරු කෙරේනුයි විදීනුයි සුචිනමි. පහක් පමණ ඉඳිකටු මා විසින් දෙන ලදී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සූචිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
78. පාටලිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් පාටලී පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ දක්ෂවූයේ කුසල සංඥා ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පළොල්මලක් ගෙන ශාස්තෲන් වහන්සේට පූජා කළේය. හේ එම පිනින් බෙහෙවින් සුවසම්පත් අනුභව කරමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේන සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදිය කීය. අන්තරාපණෙ යනු හාත්පසින් අමුරන් රත්රන් ආදී භාණ්ඩ පණෙන්ති මෙහි ගෙන එත්නුයි විකුණත්නුයි පතුරත්නුයි ආපණ නමි. රන් බඩු විකිණීමට වෙන් වූ වීදිය ආපණ අතුරුවීදිය යනුයි අන්තරාපණං, එහි අන්තරාපණෙ. රන්වන් වූ රන්මුවා ඇගෑයක් සේ දෙතිස් වර ලක්ෂණ ඇති සම්බුදුන් දැක පළොල් මලක් පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තැන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
79. ඨිතඤ්ජලිය ථේර අපදාන වර්ණනාව
මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයන්හි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි පෙර කරන ලද කර්ම විපාකයක් අනුව එක් වැදි යෝනියෙක ඉපිද දැනමිති බවට පත්වූයේ මුවන් ඌරන් ආදීන් මරා දඩයමින් අරණ්යයෙහි වාසය කළේය. එසමයෙහි තිස්ස භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. හේ දෙතිස් වර ලක්ෂණයන්ගෙන් අසූවක් අනූව්යංජනයන්ගෙන් ව්යාම ප්රභාවන්ගෙන්ද දිලිසෙන ඒ භාග්යවතුන් වහන්සේ දැක හටගත් සොම්නස් ඇත්තේ ප්රණාම කොට ගොස් කොළ ඇතිරියෙහි හිඳගත්තේය. එවේලෙහි අහස ගුගුරමින් හෙණයක් වැටුණේය. වැද්දා එයින් මියයන කල්හි බුදුන් සිහිකොට නැවත ඇඳිලි බැඳගත්තේය. හේ එම පිනින් මනා කෙතන කරන ලද කුශලයක් බැවින් අකුශල විපාකය පසුබාවා ස්වර්ගයෙහි ඉපිද කාමාවචර සම්පත් ද, මිනිසුන් අතර මනුෂ්ය සම්පත් ද අනුභවකොට පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙරකළ වාසනා හේතුවෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ ඉන්පසුව පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු මිගලුද්දො පුරෙ ආසිං යනාදිය කීහ. එහි මිගලුද්දො යනු මුවන් මරනු පිණිස ළඟට යේනුයි මිගලුද්දො. මිගති වාත වේගයෙන්ම යනුයි දුවානුයි මිගලුද්ද නම් වේ. ඒ මම පෙර භාග්යවතුන් වහන්සේ දකින අවස්ථාවෙහි මුවවැද්දෙක් ආසිං වීමි යන අර්ථයි. අරඤ්ඤෙකානනෙ යනු අරති මුව සමූහයා මෙහි යේනුයි අරඤ්ඤ නමි. නැතහොත් හාත්පසින් රජ්ජන්ති එහි විවේක කැමති බුදු පසේබුදු ආදීහු ද මහා ඓශ්වර්යට පැමිණි සත්පුරුෂයෝ ද ඇලෙතියි අරඤ්ඤ නමි. පහත් අයුරින් හෝ භයානක අයුරින් නදන්ති ශබ්ද කරත්නුයි හෝ කානන නමි. එම අරණ්යයෙහි කානනයෙහි පෙර මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. තත්ථද්දසාහං සම්බුද්ධං යනු තත්ථ ඒ අරණ්යයෙහි සමීපයට පැමිණි සම්බුදුන් වහන්සේ අද්දසං දුටුවෙමි යන අර්ථයි. පෙර දර්ශනය නුදුරෙහි විය. ඒ නිසා මනෝද්වාර අනුසාරයෙන් චක්ඛුවිඤ්ඤාණය, පෙර හැසිරෙන කායවිඤ්ඤාණය සම තත්ත්වයට පමුණුවයි යන අර්ථයි.