75. ඒකසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
ඛණ්ඩො නාමාසි නාමෙන ආදි වශයෙන් ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණු සිතැත්තේ ඒ ශාස්තෲන් වහන්සේගේ ඛණ්ඩ නමැති අග්‍රශ්‍රාවකයා දන්පිණිස හැසිරෙනු දැක සැදැහැයෙන් යුතුව පිණ්ඩපාතය දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය. උන්වහන්සේ එක් දවසක් පිඬු පිණිස වූ සංඥාව සිහිකොට ලැබූ විශේෂය නිසා එකසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,
පසුකලෙක තමාගේ පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඛණ්ඩො නාමාසි නාමෙන’ යනාදිය කීහ. ඒ අග්‍රශ්‍රාවක තෙරුන් වහන්සේ කෙලෙස් කඩන ලද බැවින් ඛණ්ඩ යයි නම් වූහ. සෙස්ස සියලුතන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
76. තිණසන්‍ථරදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිණසන්‍ථරදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත නුදුරෙහි එක් විලක් ඇසුරුකොට වාසය කරයි. එසමයෙහි තිස්ස භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා අහසින් බැස සිටි ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තණ කපා තණ ඇතිරියක් කොට වඩා හිඳවා බුහුමන් අදරින් පසඟ පිහිටුවා වැඳ ගියේය. හේ දිවි ඇති තෙක් සිට එයින් චුත ව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් ආකාර වූ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරමින් හිමවන්තස්ස අවිදූරෙ යනාදිය කීහ. එය යට කියන ලද අරුත් ඇත්තේ ම ය. මහාජාතස්සරො යනු දෙපා සිව්පා සත්ත්වයෝ පිපාසිත වූවාහු බොනු පිණිස මෙහි හැසිරෙත්නුයි සරං නමි. නැතහොත් මෙහි ගංගා කඳුරු ආදිය ගලාබසීනුයි සරං නමි. මහත්වූ ද එය තෙමේම හටගත් බැවින් සරද වෙයි. මහාජාතස්සරො අනෝතත්ත විල ඡද්දන්ත විල ආදිය මෙන් ප්‍රකට නම් නොමැති බැවින් මහාජාතස්සරො යයි කියන ලදැයි දතයුතුය. සතපත්තෙහි සඤ්ජන්නො යනු එක් එක් මලෙහි සියයක් සියයක් පෙති වශයෙන් සතපත්තෙහි සුදු නෙළුමින් සඤ්ජන්නො ගහණ වූයේය යන අර්ථයි. නානාසකුණානමාලයො යනු නොයෙක් හංස ආදීහු එක්ව කූනත්ති ශබ්ද කරත්නුයි සකුණ යයි ලද නම් ඇති පක්‍ෂීන්ට ආලයො ආධාර වූයේය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
තිණසත්‍ථරදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
77. සුචිදායක ථේර අපදාන වර්ණනාව
තිංසකප්ප සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීමට ඉඳිකටු පහක් දුන්නේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර පින් අනුභවකොට හැසිරෙන්නේ උපනුපන් භවයෙහි තියුණු ප්‍රඥා ඇත්තේ ව උපන්නේ ය. මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වන්නේ තියුණු ප්‍රඥා ඇති බැවින් හිසමුඩු කරද්දීම රහත් බවට පත්විය.
උන්වහන්සේ පසුකලෙක පින නැවත බලන්නාහු ඒ දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තිංස කප්ප සහස්සම්හි’ යනාදිය කීහ. මෙහි අතරතුර පහසුවෙන් දතහැක්කේමය.
පඤ්චසූචි මයා දින්නා යනු සූවති සිදුරු කෙරේනුයි විදීනුයි සුචිනමි. පහක් පමණ ඉඳිකටු මා විසින් දෙන ලදී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සූචිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
78. පාටලිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් පාටලී පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ දක්‍ෂවූයේ කුසල සංඥා ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පළොල්මලක් ගෙන ශාස්තෲන් වහන්සේට පූජා කළේය. හේ එම පිනින් බෙහෙවින් සුවසම්පත් අනුභව කරමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.