73. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
දුමග්ගෙ පංසුකූලිකං යනාදි වශයෙන් ආයුෂ්මත් සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ ගස් මුදුනක රැඳී තිබුණු පාංශුකූල චීවරයක් දැක, එය භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් ධජය යැයි පහන් සිතැතිව සඳුන් පූජා ආදී සත්කාර කළේය. හේ ඒ පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින් ම රහත් විය.
රහත්බවට පැමිණි උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘දුමග්ගෙ පංසුකූලිකං’ යනාදිය කීහ. එහි හිස් අවකාශය අහස්තලය පුරවානුයි දුමො ද්‍රැම නම් වේ- වෘක්‍ෂයයි. දුමස්ස අග්ගො කොටීති ගසෙහි උඩ අග කෙළවරේ තිබුණේ යයි දුමග්ග නම් වේ. ඒ ගස උඩ තිබුණු, පංසුකූල චීවරං පිළිකුල් බවටද අමනෝඥ භාවයට යනුයි පංසකූල නම් වේ. ඒ පංසුකූල සිවුර ගස උඩ තිබෙනු දුටු මම ඇඳිලි බැඳ වැන්දෙමි. ප්‍රණාමය කළෙමි යන අදහසයි. තන්ති වනාහි නිපාත මාත්‍රයකි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේමය.
සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
74. භිසාලුවදායක ථේර අපදාන වර්ණනාව
කාන්නං වන මොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් හිසාලුවදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත සමීපයෙහි අරණ්‍ය වාසයෙහි වසන්නේ, වනමුල්පල ආහාරකොට ඇත්තේ, විවේක වශයෙන් පැමිණි විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ නෙළුම් අල පහක් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත පහදවා ඔහු බලා සිටිය දී ම වැළඳූ සේක. හේ චිත්තප්‍රසාදයෙන් කලුරිය කොට තුසිත ආදී දිව්‍ය ලෝකවල සම්පත් අනුභවකොට පසුව මනුෂ්‍ය සම්පත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී ධන සම්පත්තියට පැමිණියේ එය අත්හැර සසුනෙහි පැවිදිව නොබේ කලකින්ම රහත් බවට පත්විය.
ඉන් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘කානනං වන මොගය්හ’ යනාදිය කීය. එය යට කියූ පරිදි වේ ම ය. වසාමි විපිනෙ අහං යනු මම විවේක වාස ඇත්තේ වාසය කරමි යන සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
හිසාලුවදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
අටවැනි බණවර වර්ණනාව සමාප්තයි.
75. ඒකසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
ඛණ්ඩො නාමාසි නාමෙන ආදි වශයෙන් ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණු සිතැත්තේ ඒ ශාස්තෲන් වහන්සේගේ ඛණ්ඩ නමැති අග්‍රශ්‍රාවකයා දන්පිණිස හැසිරෙනු දැක සැදැහැයෙන් යුතුව පිණ්ඩපාතය දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය. උන්වහන්සේ එක් දවසක් පිඬු පිණිස වූ සංඥාව සිහිකොට ලැබූ විශේෂය නිසා එකසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,
පසුකලෙක තමාගේ පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඛණ්ඩො නාමාසි නාමෙන’ යනාදිය කීහ. ඒ අග්‍රශ්‍රාවක තෙරුන් වහන්සේ කෙලෙස් කඩන ලද බැවින් ඛණ්ඩ යයි නම් වූහ. සෙස්ස සියලුතන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
76. තිණසන්‍ථරදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිණසන්‍ථරදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත නුදුරෙහි එක් විලක් ඇසුරුකොට වාසය කරයි. එසමයෙහි තිස්ස භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා අහසින් බැස සිටි ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තණ කපා තණ ඇතිරියක් කොට වඩා හිඳවා බුහුමන් අදරින් පසඟ පිහිටුවා වැඳ ගියේය. හේ දිවි ඇති තෙක් සිට එයින් චුත ව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් ආකාර වූ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.