71. නාගසමාල ථේර අපදාන වර්ණනාව
අපාටලිං අහං පුප්ඵං යනාදි වශයෙන් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වයසින් දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සුදුසු සත්පුරුෂ ආශ්රයක් නැති බැවින් ශාස්තෲන් වහන්සේ ජීවත්වන කාලයෙහි දැකීම් ඇසීම් පිදීම් නොකොට, පිරිනිවන්පෑ කල්හි ඒ භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු චෛත්යය කෙරෙහි සිත් පහදවා, පළොල්මලක් පූජාකොට සොම්නස් උපදවා දිවි ඇති තාක් සිට එම සොම්නසින්ම එයින් චුතව තුසිත පුරයෙහි දෙදෙව්ලොව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේය. නා ගස්වල දලු හා සමාන කෝමල වූද රත්පැහැ වූ ද සමාන ශරීරයක් ඇති බැවින් නාගසමාල යයි මාපියන් විසින් තබන ලද නම් ඇත්තේ භාග්යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුව පූර්ව කර්මය සිහිකොට ‘අපාටලිං අහං පුප්ඵං’ යනාදිය කීහ. එහි අපාටලිං යනු හාත්පසින් හෝ ආදරයෙන් හෝ පළොල්මලක් ගෙන මම ස්තූපයෙහි අභිරොපෙසිං පිදුවෙමි යන අර්ථයි. උජ්ඣිතං සුමහාපථෙ යනු සියලු නගරවාසීහු සඳුන් පුදනු පිණිස මහාපථෙ නුවර මැද වීථියෙහි උජ්ඣිතං ගොඩනැගූ උළුකම් සුණුකම් ආදියෙන් නිෂ්පාදනය කරන ලද යන අර්ථයි. සෙස්ස යට කියන ලද පරිදි පහසුවෙන් දත හැක්කේමය.
නාගසමාල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
72. පදසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
අක්කන්තඤ්ච පදංදිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් ශ්රද්ධා සම්පන්න වූ උපාසක ගෘහයක ඉපිද දැනමිති බවට පත්ව තෙරුවන්හි පැහැදුණේ, භාග්යවතුන් වහන්සේ විසින් ඔහුට අනුකම්පාවෙන් දක්වන ලද පද සලකුණ දැක රෝමෝද්ගමන ඇත්තේ සඳුන් පූජා ආදි බුහුමන් කළේය. හේ මනා වූ කෙතක මනාසේ කරන ලද එම පිනින් එයින් චුත වැ ස්වර්ගයෙහි ඉපිද එහි දිවසැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පෙර කරන ලද පිනෙහි නමින් පදසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ,
එක් දවසක් තමාගේ පුණ්යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘අක්කන්තඤ්චපදංදිස්වා’ යනාදිය කීය. එහි අක්කන්තං යනු පාතැබූ තැන දක්වන ලදි. සියලු බුදුවරුන්ගේ සියලු කල්හි සිව්අඟුල් ප්රදීපයක මෙන් ගමනක් වෙයි. මෙය ඔහුගේ ශ්රද්ධා සම්පන්නභාවය දැන මොහු මා දකීවායි පාද චෛත්යය පෙන්වූ සේක. ඒනිසා ඔහු එහි පැහැද සඳුන්පූජා ආදී සත්කාර කළේය යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
73. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
දුමග්ගෙ පංසුකූලිකං යනාදි වශයෙන් ආයුෂ්මත් සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ ගස් මුදුනක රැඳී තිබුණු පාංශුකූල චීවරයක් දැක, එය භාග්යවතුන් වහන්සේගේ අර්හත් ධජය යැයි පහන් සිතැතිව සඳුන් පූජා ආදී සත්කාර කළේය. හේ ඒ පුණ්යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින් ම රහත් විය.
රහත්බවට පැමිණි උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘දුමග්ගෙ පංසුකූලිකං’ යනාදිය කීහ. එහි හිස් අවකාශය අහස්තලය පුරවානුයි දුමො ද්රැම නම් වේ- වෘක්ෂයයි. දුමස්ස අග්ගො කොටීති ගසෙහි උඩ අග කෙළවරේ තිබුණේ යයි දුමග්ග නම් වේ. ඒ ගස උඩ තිබුණු, පංසුකූල චීවරං පිළිකුල් බවටද අමනෝඥ භාවයට යනුයි පංසකූල නම් වේ. ඒ පංසුකූල සිවුර ගස උඩ තිබෙනු දුටු මම ඇඳිලි බැඳ වැන්දෙමි. ප්රණාමය කළෙමි යන අදහසයි. තන්ති වනාහි නිපාත මාත්රයකි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේමය.
සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
74. භිසාලුවදායක ථේර අපදාන වර්ණනාව
කාන්නං වන මොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් හිසාලුවදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත සමීපයෙහි අරණ්ය වාසයෙහි වසන්නේ, වනමුල්පල ආහාරකොට ඇත්තේ, විවේක වශයෙන් පැමිණි විපස්සි භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ නෙළුම් අල පහක් දුන්නේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිත පහදවා ඔහු බලා සිටිය දී ම වැළඳූ සේක. හේ චිත්තප්රසාදයෙන් කලුරිය කොට තුසිත ආදී දිව්ය ලෝකවල සම්පත් අනුභවකොට පසුව මනුෂ්ය සම්පත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී ධන සම්පත්තියට පැමිණියේ එය අත්හැර සසුනෙහි පැවිදිව නොබේ කලකින්ම රහත් බවට පත්විය.