550. චූළසුගන්ධ ථේර අපදාන වර්ණනාව
දසවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුගන්ධ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස විභව සම්පත් ඇති කුලයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා සැමකල්හි නමස්කාර කරමින් දන් දෙමින් මසකට සත්වරක් භාග්යවතුන් වහන්සේගේ ගඳකිළිය සතර වර්ගයක සුවඳින් ආලේප කළේය. මාගේ උපනුපන් තැන ශරීරයෙන් සුගන්ධය උපදීවායි ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ එය ප්රකාශ කළ සේක. හේ දිවි ඇතිතාක් සිට පින්කොට එයින් දෙව්ලොව උපන්නේ කාමාවචර දිව්ය ලෝකය ශරීර සුගන්ධයෙන් සුවඳවත් කරමින් සුගන්ධ දිව්යපුත්රයා යයි ප්රකට විය. හේ දිව්යලෝක සම්පත් අනුභව කොට එයින් චුතවූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි මහාභෝග ඇති කුලයක උපන්නේ ය. ඔහු මව්කුසට ගියකල්හි මවගේ සිරුරු සුවඳින් මුළුගෙයද මුළු නගරයද සුවඳින් පිරී ගියේය. උපන් කෙණෙහි මුළු සැවැත්නුවරම සුවඳ කරඬුවක් මෙන් විය. ඒ නිසා ඔහුට සුගන්ධයයි නමක් තැබූහ. හේ වැඩිවියට ගියේය. එකල්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරට පැමිණ දෙව්රම් මහවෙහෙර පිළිගත් සේක. ඒ දැක පහන් සිත් ඇත්තේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම පිළිසිඹියා සහිතව රහත් බවට පත්විය. ඔහු උපන් දිනයෙහි පටන් පිරිනිවන් පානා තෙක් මෙදෑතුර නිපන් තැන් ආදියෙහි සුවඳම හැමීය. දෙවියෝද දිවසුණු, දිවසුවඳ, දිවමල් විසුරුවති.
ඒ තෙරුන් වහන්සේද රහත් බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේද, පහසුවෙන් දතහැක්කේද වේමැයි. හුදෙක් පින්වල වෙනසත් නම්වල වෙනසත් විශේෂයකි.
සුගන්ධ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
පනස් පස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
56. යස වර්ගය
551. යස ථේර අපදාන වර්ණනාව
[missing trans]