සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තැනැත්තේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ඇත්දත් රන් ආදියෙන් නිදනු පිණිස ඇඳක් කරවා අනර්ඝ වූ විසිතුරු ඇතිරිලිවලින් අතුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිළිගෙන පරිහරණය කළ සේක. හේ එම පින්කමින් දෙව් මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැහැද පැවිදිව විදසුන් අරඹා නොබෝ කලෙකින්ම රහත් විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සයනදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට විය.
උන්වහන්සේ එක් දවසක් තමාගේ පුණ්‍යකර්මය සිහිකොට සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීහ. ඒ සියල්ල පාළියෙහි නියමානුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
සයනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
48. චඞ්ක්‍රමදායක ථේර අපදාන වර්ණනාව
අත්‍ථදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් චඞ්කමදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු දැනමිති බවට පත්වූවාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී උස් පාදමක් ඇති සුණු පිරියම් කළ රිදී රැසක් බඳු අලංකාර සක්මනක් කරවා මුතුදැල් වැනි සුදුවැලි අතුරා භාග්‍යවතුන් වහන්සේට දුන්හ. භාග්‍යවතුන් වහන්සේ සක්මන පිළිගත් සේක. පිළිගෙනද ස්වකීය සිත සමාධියට නංවා අනාගතයෙහි ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයෙක් වන්නේ යයි ප්‍රකාශ කළ සේක. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවිමිනිසුන් අතර නැවත නැවත සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්ව කරන ලද පින්කමෙහි නමින් චඞ්කමදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
උන්වහන්සේ එක් දවසක් තමා විසින් පෙර කරන ලද පුණ්‍ය කර්මය සිහිකොට සොම්නස් වූවාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු අත්‍ථදස්සිස්ස මුනිනො යනාදිය කීහ. එහි අත්‍ථදස්සිස්ස යනු අත්‍ථං ප්‍රයෝජනය වෘද්ධිය නැගීම නිර්වාණය පෙන්වතියි දකිතියි අර්ථයි. නැතහොත් අත්‍ථං අර්ථය, නිර්වාණය දකිනසුලු, දන්නාසුලු යන අර්ථයි. ඒ අත්‍ථදස්සිහුගේ. මුනිනො මොනෙන ඤාණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේගේ. මනෝරමං මනබඳනා. භාවනීයං සිත තබා ගතයුතු සක්මනක් කරවීය යනු සම්බන්ධයි. සෙස්ස කියූ පරිදි පහසුවෙන් දතහැක්කේමය.
චඞ්කමදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
49. සුභද්‍ර ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො ලොකවිදූ ආදී වශයෙන් ආයුෂ්මත් සුභද්‍ර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන නිර්වාණාවබෝධයට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධනසම්පත් ඇති සැදැහැති එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ ගෘහ බන්ධනයෙන් බැඳුණේ තෙරුවන්හි පහන් වූයේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක, රැස්වූ දසදහසක් සක්වළ දෙවියන් ද දැක පහන් සිතැත්තේ නිග්ගුණ්ඩි, කේතකී, නීලක, අසෝක අසිත ආදී නොයෙක් සුවඳමලින් පූජා කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් දිවි ඇතිතාක් සිට එයින් මියගොස් තුසිත ආදියෙහි දිව්‍යසම්පත් අනුභවකොට ඉන් මනුෂ්‍යයන් අතර උපනුපන් තැන්වලදී ද සුවඳ මලින් ද පුදන ලද්දේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ධනසම්පත් ඇති කුලයෙක ඉපිද මිනිස් සැප අනුභවකොට දැනමිති බවට පැමිණියේ කාමයන්හි ආදීනව දැක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා කල්හි එතෙක් නොලද බුද්ධ දර්ශන ඇත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් කල්හිම පැවිදිව රහත්බවට පත්විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සුභද්‍ර යයි ප්‍රකට විය.
හේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරො ලොකවිදූ යනාදිය කීය. එය නොගැඹුරු අරුත් ඇත්තේමය. “මා කියන්නක් අසවු. ආශ්‍රව නැත්තේ පිරිනිවන් පාන්නේය”යි මෙය පිරිනිවන් මංචකයෙහි වැදහොත් සේක්ම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
පස්වැනි මහ බණවර වර්ණනාව සමාප්තයි.
හේ තමාගේ ප්‍රතිපත්තිය දක්වන්නේ පුබ්බකම්මෙන සංයුත්තො ආදිය කීය. එකග්ගො යනු ඒකාග්‍ර සිත් ඇත්තේ. සුසමාහිතො යනු මනාසේ සමාහිත වූයේ නිවුනු සිතැත්තේ යන අර්ථයි. බුද්ධස්ස ඔරසොපුත්තො යනු බුදුරජාණන් වහන්සේගේ උරසා හදවතින් නික්මුණු අවවාද අනුශාසනා අසා පැමිණි රහත්ඵල ඇත්තේය යන අර්ථයි. ධම්මජොම්හි සුනිම්මිතො යනු ධර්මයෙන් කර්මස්ථාන ස්වභාවයෙන් උපන්නේ ආර්ය ජාතියෙන් සුනිම්මිතො මනාසේ නිපදවාගත් සියලු කෘත්‍ය ඇත්තේ අම්හි වෙමියි අර්ථයි.