49. පංසුකූල වර්‍ගය
සතළිස් නවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානය පහසුවෙන් දතහැක්කේ ම ය.
දෙවැනි අපදානයෙහි අධිච්චුප්පත්තිතා බුද්ධා යනු අධිච්චෙන කරුණක් නැතිව උප්පත්තිකා තෙමේම හටගත්. අනිකුත් දේව බ්‍රහ්ම මාරාදී උපදේශ දෙන්නවුන් රහිතව ස්වයංභූ ඥානයෙන් උප්පන්නා උපන් පහළවූ යන අර්ථයි.
ඔදුම්බරික පුප්ඵංව යනු උදුම්බර රුකෙහි මල් දුර්ලභය. දුර්ලභ උත්පත්තියක් මෙන්. චන්‍දම්හි සසකංයථා චන්ද්‍ර මණ්ඩලයෙහි සස රේඛාව හා සමාන වූවක් දුර්ලභය. වායසානං යථා ඛීරං යනු කපුටුවන්ට නිතර රෑදවල් බඩසයින් පෙළෙන බැවින් කිරි දුර්ලභ වන්නා සේ. මෙසේ ලෝකනායකයෙක් දුර්ලභය. අසංඛ්‍ය සතරක් හෝ අසංඛ්‍ය අටක් හෝ අසංඛ්‍ය සොළොසක් හෝ කල්ප සියදහසක් පාරමී පුරා ලද බැවින් දුර්ලභ වූ ලෝකනායකයන් වහන්සේ යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි මධුං භිසෙහි සවති යනු පොකුරුමී නෙළුම් කෙසුරින් සංති යනු වැගිරේ. ඛිරං සප්පි මුලාළීහි යනු කිරි ද ගිතෙල් වෙඬරු ද නෙළුම් අලයෙන් සවති වැගිරෙයි. එහෙයින් මා සතු ඒ දෙකම බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වායි යන අර්ථයි.
සිව්වැනි පස්වැනි සවැනි අපදාන නොගැඹුරුමය.
සත්වැනි අපදානයෙහි චත්තාළීස ද්විජාපිච යනු දෙවරක් උපන්නේනුයි ද්විජ. කුමාර වයසෙහි නැගුණු දත් වැටුණු බැවින් නැවත නැගුණු දත් ද්විජ නමි. විවරණය ද යට නිදාන කථාවෙහි කියන ලද අර්ථ ඇත්තේමය.
අටවැනි අපදානය නොගැඹුරුමය.
නවවැනි අපදානයෙහි තදාහං මාණවො ආසිං යනු යම්කලෙක සුමෙධ පණ්ඩිත තෙමේ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් විවරණ ලැබීද එකල්හි මම මේඝ නම් බ්‍රාහ්මණ මාණවකයෙක්ව සුමෙධ තවුසා සෘෂි පැවිද්දෙන් පැවිදිව ශික්‍ෂාපදයන්හි මැනවින් හික්මුණේ කිසියම් පාපමිත්‍රයකු සමග එක්වූයේ එක්වීම් දෝෂයෙන් පාපවිතර්කයන්ගේ වසඟයට ගියේ මව මැරීමේ කර්මය නිසා නිරයෙහි ගිනිදැල් ආදී දුක් අනුභවකොට එයින් චුතවූයේ සමුද්‍රයෙහි තිමිංගල මහා මත්ස්‍යයෙක්ව උපන්නේ මුහුද මැද ගමන්කරන මහා නැවක් ගිලිනු කැමැත්තෙන් ගියේ මාදැක වෙළෙන්දෝ බියට පත්වූවෝ ‘අනේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ’ යැයි ශබ්දයක් කළහ. ඉක්බිති මහා මත්ස්‍යයා පූර්ව වාසනා බලයෙන් බුද්ධ ගෞරවය උපදවාගෙන එයින් චුතවූයේ සැවැත්නුවර විභව සම්පත් ඇති බමුණු කුලයෙක ඉපිද සැදැහැත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැවිදිව පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ දවසට තෙවරක් උපස්ථානයට ගොස් සිහිකරමින් වඳියි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘චිරං ධම්මරුචීති’ යනාදිය කී සේක.
ඉක්බිති ඒ තෙරුන් වහන්සේ ‘සුචිරං සත පුඤ්ඤ ලක්ඛණං’ ආදී ගාථාවන්ගෙන් ස්තුති කරති. ස්වාමීනි, සියයක් පුණ්‍ය ලක්‍ෂණ දරන්නා වූ ගෞතමයන් වහන්ස, පතිපුබ්බෙන විසුද්ධපච්චයං යන පෙර දීපංකර පාදමූලයෙහි පිරිපුන් පාරමී ප්‍රත්‍ය සම්භාර ඇත්තේ දිගුකලකින් මා විසින් නොදක්නා ලද්දෙහි යන අර්ථයි. අහමජ්ජ සුපෙක්ඛනං යනු අද මේ දවසෙහි මම සුපෙක්ඛානං සොඳුරු දසුනක්, සුන්දර දෘෂ්ටියක් හෝ නිරූපමග්ගහං උපමා රහිත ශරීරයක් ඇති ගෞතමයන් වහන්සේ වත ඒකාන්තයෙන් පස්සාමි දකිමි යන අර්ථයි.
සුචිරං විහතතමො තයා යනු විශේෂයෙන් හතතමො විධ්වංසනය කරන ලද මෝහ ඇත්තේ, ඔබවහන්සේ මා විසින්ද බොහෝ කලකින් ස්තුති කරන ලද්දේ වෙහි යන අර්ථයි. සුචිරක්ඛෙන නදී විසොහිතා යනු මේ තෘෂ්ණා නමැති නදිය සුරක්ඛෙන රැකීම් වශයෙන් සොහිතා ඔබ විසින් අලංකාර කරන ලද්දේය යන අර්ථයි. සුචිරං අමිලං විසොධිතං යනු සුට්ඨුචිරං දිගුකලකින් නිර්මල වූ නිර්වාණය විශේෂයෙන් සොධිතං මනාසේ අවබෝධ කරන ලදී යන අර්ථයි. නයනං ඤාණමයං මහාමුනෙ චිරකාලං සමධිගතො යනු මහාමුනෙ මහා ශ්‍රමණයන් වහන්ස, ඥානමය වූ දිවැස ඔබවහන්සේ සමධිගතො ලබා බොහෝ කලෙකි යන අර්ථයි. තයා න විනට්ඨො පුනරන්තරං යනු මම නැවත අතරමැද ඔබ විසින් පරිනට්ඨො අන්ධ කරන ලද්දේ නොවීම් යන අර්ථයි. පුනරජ්ජ සමාගතො තයා යනු අද මෙකල්හි ඔබ සමග නැවතත් සමාගතො එක්වූයේ ඔබ සමග වසමි යන අර්ථයි. මාහි නස්සති කතානි ගොතම යනු ගොතම සර්වඥ වූ බුදුරජාණන් වහන්ස, ඔබ සමග කරන ලද එක්වීම් ආදිය නහි නස්සති පරිනිර්වාණය තෙක් වෙනස් නො වන්නේ ය යන අර්ථයි. සෙස්ස නො ගැඹුරුම ය. සෙස්ස නො ගැඹුරුම ය.