32. ආරක්ඛදායක වර්ගය
තිස්දෙවැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි අපදාන පහසුවෙන් දතහැක්කේමය.
සිව්වැනි අපදානයෙහි ජලජග්ගෙහි ඔකිරිං යනු ජලයෙහි හටගත් උතුම් මහනෙල් නෙළුම් මලින් ඔකිරිං පිදුවෙමි යන අර්ථයි.
පස්වැනි අපදානය නොගැඹුරුමය.
සවැනි අපදානයෙහි චෙතියං උත්තමං නාම සිඛිනො ලොක බන්ධුනො යනු සියලු තුන්ලොවට බන්ධුනො ඥාතී වූ සිඛී භාග්යවතුන් වහන්සේගේ උත්තම චෛත්යය ඉරිනෙ ජනයාගේ හැසිරීමෙන් විරහිත. විවනෙ මිනිසුන්ගේ කෝලාහල රහිත මහා අරණ්යයෙහි විය යනු සම්බන්ධයි. අන්ධාභිණ්ඩාමහං තදා යනු ඒ කාලයෙහි වනයෙහි මංමුළා වූ බැවින් අන්ධ වූ ඇසින් අන්ධ නොවූයේ අහං මම ආහිණ්ඩාමි මාර්ගය සොයමි යන අර්ථයි. පවනා නික්ඛමන්තෙන යනු මහා වනයෙන් නික්මෙන මා විසින්. සීහාසනං උතුම් අසුන. සිංහයාගේ අසුන හෝ භාග්යවතුන් වහන්සේගේ අසුන දුටුවෙමි යන අර්ථයි. එකංසං අඤ්ජලිංකත්වා යනු උතුරුසළුව එකස්කොට හිසෙහි අඤ්ජලිය තබා යන අර්ථයි. ථොමිස්සං ලොකනායකං යනු සියලු තුන්ලොව නයන්තං නිවනට පමුණුවන ලෝකනාථයන් වහන්සේට ථොමිස්සං ස්තුති කෙළෙමි යන අර්ථයි.
සත්වැනි අපදානයෙහි සුදස්සනො මහාවීරො යනු සොඳුරු දසුන් ඇති දෙතිස් සංවර මහා පුරුෂ ලක්ෂණ ඇති ශරීරයක් ඇති බැවින් මනහර දසුන් ඇති මහාවීර්ය ඇති සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වසතී ඝර මුත්තමෙ යනු උතුම් වෙහෙරෙහි වසන සේක යන අර්ථයි.
අටවැනි නවවැනි දසවැනි අපදාන නොගැඹුරු ම ය.
තිස්දෙවැනි වර්ග වර්ණනාවයි.
33. උම්මාපුප්ඵිය වර්ගය
තිස්තුන්වැනි වර්ගයෙහි පළමුවැනි දෙවැනි තෙවැනි සිව්වැනි පස්වැනි සවැනි අපදාන නොගැඹුරු ම ය.
සත්වැනි අපදානයෙහි සමූහං අගමාසහං යනු සමූහං එකතුවන තැනට අහං මම ගියෙමි යන අර්ථයි.
අබ්බුද නිරබ්බුදා යනු කෝටි සයදහසකගේ සියය අබ්බුද නමි. අබ්බුද සියදහසකගේ සියය නිරබ්බුදයයි කියන ලද බැවින් ආයුෂයෙන් අබ්බුද නිරබ්බුද ගණනක් ගිය මහා ආයුෂ ඇති රජවරු චක්රවර්තීහු ක්ෂත්රියයෝ අට අට වී කල්ප විසිපන්දහසක්හි ආසුං වූහ යන අර්ථයි. අටවැනි නවවැනි දසවැනි අපදාන ප්රකටමය.
තිස්තුන්වැනි වර්ග වර්ණනාවයි.
34-38. ගන්ධධූපිය වර්ගය
තිස්හතරවැනි වර්ගය, තිස්පස්වැනි වර්ගය, තිස්හයවැනි වර්ගය, තිස්හත්වැනි වර්ගය, තිස්අටවැනි වර්ගය නොගැඹුරු අරුත් ඇත්තේමය.
39. අවණ්ටඵල වර්ගය
තිස්නවවැනි වර්ගයෙහිද පළමු අපදාන ආදිය නොගැඹුරුමය.
389. සෝණකෝටිවීස ථේර අපදාන වර්ණනාව
නවවැනි අපදානයෙහි විපස්සිනො පාවචනෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සොණ කොළිවිස තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙර නමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මහාවිභව සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පත්වූයේ සිටුවරයෙක් ව උපාසකයෙකු සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ භාග්යවතුන් වහන්සේ සක්මන් කරන ස්ථානයෙහි සුණුපිරියම් කරවා එක් ලෙනක්ද කරවා නොයෙක් වර්ණ නැති වස්ත්රවලින් ලෙන්බිම අතුරා මතුයෙහි වියනක්ද කොට සිව්දිගින් වඩනා සංඝයාට පවරා සත්දිනක් මහදන් පවත්වා ප්රාර්ථනාවක් කෙළේය. භාග්යවතුන් වහන්සේ අනුමෝදනා කළ සේක. හේ ඒ පින්කමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට ඉන්පසු කාශ්යප දසබලයන් වහන්සේ පිරිනිවි කල්හි භාග්යවතුන් වහන්සේ නොපැමිණ තිබියදී බරණැස කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ගංගා නදීතෙර පන්සලක් කරවා වසන්නේ එක් පසේබුදු කෙනකුන් වහන්සේ නමකට තුන්මසක් සිව්පසයෙන් සකසා උපස්ථාන කළේය. පසේ බුදුරජාණන් වහන්සේ විසූවස් ඇත්තේ පිරිපුන් පිරිවර ඇත්තේ ගන්ධමාදනයටම වැඩි සේක. ඒ කුලපුත්රයා දිවි ඇතිතාක් එහි පින්කොට එයින් චුතවී දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි චම්පා නුවර අගසිටුවරයාගේ ගෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගන්නා කාලයෙහි පටන් සිටුවරයාට මහාභෝග රැසක් වැඩිවිය. ඔහු මව්කුසින් නික්මෙන දවසෙහි මුළු නුවරම මහා ලාභසත්කාර සම්මාන ඇතිවිය. උපන්නා වූ ඔහුට පෙර පසේ බුදුරජාණන් වහන්සේට සියදහසක් අගනා රතුපලසක් පරිත්යාග කිරීමෙන් සුවඳ වූ ද රතුවූ ද රන්වන් වූ ද ආත්මභාවයක් විය. ඒ නිසා ඔහුට සෝණ යැයි නමක් විය. ඔහුගේ පියා ඔහුට කෝටියක් අගනා කන් පළඳනාවක් කරවීය. ඒ උදෙසා පසුකලෙක සෝණ කෝටිකණ්ණ යයි නාමයක් විය. හේ මහත් පිරිවරින් වැඩුණේය. ඔහුගේ අතුල්පතුල් බඳුවදමල් පැහැ විය. ඒ අතුල්පතුල්වල සියවරක් නෙළූ කපුපුළුන් මෙන් මුදුපහසක් විය. පතුල්වල මිණිකොඬොල් වැනි ලෝම ඇතිවිය. වැඩිවිය පත් ඔහුට තුන් සෘතුන්ට ගැළපෙන ප්රාසාද තුනක් කරවා නාටක ස්ත්රීන් ලවා උපස්ථාන කරවීය. හෙතෙමේ එහි මහත් වූ සම්පත් අනුභව කරන්නේ දෙව් කුමරකු මෙන් වාසය කරයි.