29. පණ්ණදායක වර්‍ගය
විසිනවවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පණ්ණභොජනභොජිනො යනු කිරි සහිත කොළ ආදී බොජුන් බුදිනු පිණිස පන්සලෙහි හුන්නේ අම්හි වෙමි යන අර්ථයි. උපවිට්ඨඤ්ච මං සන්තං යනු පන්සලට පිවිස මං සන්තං විද්‍යමාන වූ මා උපාගඤ්ජි මහා ඉසී යනු මහත් වූ ශීලාදී ස්කන්ධයන් සොයන බැවින් මහාඉසී. ලොක පජ්ජොතො ලෝකයට ප්‍රදීපයක් වූ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ උපගඤ්ජි මා සමීපයට පැමිණි සේක යනු අර්ථයි. නිසින්නං පණ්ණ සන්ථරෙ යනු පැමිණ කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට වැළඳීම පිණිස වාෂ්පයෙන් තැම්බූ කොළ මා විසින් දෙන ලදී යනු සම්බන්ධයි.
දුතියාපදානෙ දෙවැනි අපදානයෙහි සිනෙරු සමසන්තො ඒ පර්වතයක් හා සමාන සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. වුට්ඨහිත්‍වා සමාධිම්හා යනු නිරෝධ සමාපත්තියෙන් නැගී වෙන්වූ යන අර්ථයි. භික්ඛායමමුපට්ඨිතො යනු පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි අද මට යමෙක් කිසියම් දානයක් දෙයිද ඔහුට මහත්ඵල වේයයි සිතා හුන් මාගේ සන්තිකං උපට්ඨිතො පැමිණි සේක යන අර්ථයි. හරීතකං -පෙ- ඵාරුසක ඵලානිච යනු මෙසේ සියලු ඒ පල සර්වලෝකයට හිතානුකම්පී වූ ඒ සිද්ධත්‍ථ මහර්ෂීන් වහන්සේට මා විසින් අතිශයින් පැහැදුණු සිතින් දෙන ලදී යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි සීහංයථාවනචරං යනු වනයෙහි හැසිරෙන සිංහරාජයකු මෙන් හැසිරෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ යනු සම්බන්ධයි. නිසභාජානීයං යථා යනු උසභය, වසභය, නිසභය, ආසභය යන ගව ජ්‍යෙෂ්ඨයෝ සතරදෙන. ඔවුන්ගේ ආජානීය වූ අභීත වූ නිශ්ඵල වූ උසභ රාජයකු මෙන් යන අර්ථයි. කකුධං විලසන්තං විය යනු මල් පල්ලෙන් සෝභමාන වූ කුඹුක්ගසක් මෙන් නරාසභං නරයන්ට ආසභ වූ උත්තම වූ පැමිණෙන සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක සැදැහැයෙන් යුක්ත බැවින් අතිශයින් පැහැදුණු සිතින් පෙරගමන් කෙළෙමි යන අර්ථයි.
[missing trans]
විසිනවවැනි වර්ග වර්ණනාවයි.
30. චිතකපූජක වර්‍ගය
තිස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි ආහුතිං යිට්ඨුකාමොහං යනු පූජා සත්කාර කරවනු කැමැත්තේ මම නානාපුප්ඵං සමානයිං යනු අනේකප්‍රකාර සපුසල් ආදී මල් සං මැනවින් ආනයිං රැස් කෙළෙමි යන අර්ථයි. සිඛිනො ලොක බන්‍ධුනො යනු සියලු තුන්ලොවෙහි බන්‍ධුස්ස ඥාතී වූ පිරිනිවන්පෑ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ චිතකං ආදාහන චිතකය දර සෑය ජලන්නං දැල්වෙද්දී මා විසින් රැස්කරන ලද මල් ඔකිරිං පූජා කෙළෙමි යන අර්ථයි.
දෙවැනි අපදානයෙහි අජිනුත්තරවාසිනො යනු අඳුන් දිවිසම උතුරු සළුවක් කොට නිවාසිනො හඳින්නහුගේ යන අර්ථයි. අභිඤ්ඤා පඤ්ච නිබ්බත්තා යනු ඉද්ධිවිධ ආදී පඤ්චඅභිඤ්ඤායෝ නැණපස නිබ්බත්තා උත්පාදනය කරන ලද්දේය. නිෂ්පාදනය කරන ලද්දේය. චන්‍දස්ස පරිමජ්ජකො යනු චන්ද්‍ර මණ්ඩලය වටා මජ්ජකො ස්පර්ශ කරන්නේ වීමි යන අර්ථයි. විපස්සිං ලොක පජ්ජොතං යනු සියලු තුන්ලොව පහනක් බඳු විපස්සි භාග්‍යවතුන් වහන්සේ මාගේ සමීපයට අභිගතං විශේෂයෙන් සපැමිණෙනු දැක, පාරිච්ඡත්තක පුප්ඵානි යනු දෙව්ලොවින් පරසතු මල් ගෙනවුත් විපස්සි ශාස්තෲන් වහන්සේගේ මතුයෙහි ඡත්‍රයක ආකාරයෙන් මම දුනිමි යන අර්ථයි.
තෙවැනි අපදානයෙහි පුත්තො මම පබ්බජිතො යනු මාගේ පුත්‍රයා සැදැහැයෙන් පැවිදිවූයේ. කාසාය වසනො තදා යනු ඔහු පැවිදිවුණු කල්හි කාසාය නිවත්‍ථො බාහිරක පැවිද්දෙන් පැවිදි වූයේ යන අර්ථයි. සොව බුද්ධත්තං පත්තො ඒ මාගේ පුත්‍රයා බුදුවරුන් සතරනම අතුරින් ශ්‍රාවක බුද්ධ භාවයට සං මනාසේ පත්තො අර්හත්වයට පැමිණියේ යන අර්ථයි. නිබ්බුතො ලොකපූජිතො යනු සකල ලෝකයා විසින් කරන ලද සත්කාර ඇත්තේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන්පෑය යන අර්ථයි. විචිනන්තො සකංපුත්තං යනු මම ඔහු ගිය අත විචාරා තමාගේ පුත්‍රයා සොයා යන්නේ. පච්ඡතො අගමං අනුව ගියේ වෙමි යන අර්ථයි. නිබ්බුතස්ස මහන්තස්ස යනු මහත් වූ ශීල ස්කන්ධාදියෙන් යුතු බැවින් මහත්වූ ඒ මාගේ ඒ රහත් වූ පුත්‍රයාගේ ආදාහනට්ඨානං දරසෑය තිබුණු තැනට මම ගියෙමි යන අර්ථයි. පග්ගය්හ අඤ්ජලිංතත්‍ථ යනු ඒ ආදාහන ස්ථානයෙහි අඤ්ජලිං දසැඟිලි එක්කොට බැඳගෙන හිස් මුදුනෙහි තබා මම චිතකං දැවෙන දරසෑය වන්‍දිත්‍වා ප්‍රණාමකොට. සෙතච්ඡත්තඤ්ච පග්ගය්හ යනු හුදෙක් වැඳීම පමණක් නොකොට සේසතද පග්ගය්හ ඔසවා මම ආරොපෙසිං පිහිටුවීමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි අනුග්ගතම්හි ආදිච්චෙ යනු සූර්යයා අනුග්ගතෙ නොනැගුණු අළුයම් කාලයෙහි යන අර්ථයි. පසාදො විපුලො අහු යනු රෝගයෙන් පීඩිත වූ මාගේ චිත්තප්‍රසාදය විපුලො බුදුන් සිහිකිරීමෙන් අතිරේක වූයේ අහු විය. මහෙසිනො ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ලෝකයෙහි පාතුභාවො ප්‍රකටවීම සිදුවිය යනු සම්බන්ධයි. සද්දමස්සොසහං තස්ස යනු උන්වහන්සේගේ පහළවීම ඇතිකල්හි මම ගිලන්වූයේ බුදුරජාණන් වහන්සේ උපන් සේකැයි යන ඝෝෂාව ඇසුවෙමි. නචපස්සාමි තංජිනං යනු ඒ පස්මරුන් දිනූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදකිමි. දැඩිසේ ගිලන් බැවින් ගොස් බැලීමට නොහැක්කෙමි යන අර්ථයි. මරණඤ්ච අනුප්පත්තො යනු මරණාසන්න කාලය අනුප්පත්තො මරණාසන්න වී යන අර්ථයි. බුද්ධසඤ්ඤමනුස්සරිං බුද්ධ යන නම අනුස්සරිං බුද්ධාලම්භනය සිතෙහි ඇතිකර ගත්තෙමි යන අර්ථයි.