19. කුටජපුප්ඵිය වර්‍ගය
මින්පසුව දහනවවැනි වර්ගයෙහි පැමිණි මේ කුටජ තෙරුන් වහන්සේ ආදී තෙරුන් වහන්සේ දසනමගේ අපූර්වයක් නැත. ඒ තෙරුන් වහන්සේලා පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍යසම්භාර අනුව ප්‍රකට වූ නම් ඇත්තාහුමය. නිවාස නගර ආදියද යට කියන ලද පරිද්දෙන් දතයුත්තේය. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේ ම ය.
දහනවවැනි වර්ග වර්ණනාව නිමියේය.
20. තමාලපුප්ඵිය වර්‍ගය
විසිවැනි වර්ගයෙහි පළමුවැනි තෙරුන් වහන්සේගේ අපදානය නොගැඹුරු ම ය.
දෙවැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි යං දායවාසිකො ඉසී යනු සෘෂි පැවිද්දෙන් පැවිදි ව වනයෙහි වසන බැවින් දායවාසික සෘෂි යයි ප්‍රසිද්ධියට ගියේ තමාගේම අනුකම්පාව පිණිස ඒ වනයට වැඩමකළ සිද්ධත්‍ථ ශාස්තෲන් වහන්සේ වසන තැන මඩුවෙහි වහලය සඳහා යම් තණක් වේද එය ලායති කපානුයි අර්ථයි. කුසතණ වහලයක් තනා නොයෙක් කුඩා දඬුවලින් මඩුවක් තනා එය තණපතින් වසා සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අදාසිං පිදුවෙමි යන අර්ථයි.
සත්තාහං ධාරයුංතස්ස යනු ඒ මඩුව එහි සිටි දෙවිමිනිස්සු සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී වැඩහුන් ශාස්තෲන් වහන්සේට හා දෙවි මිනිසුන්ට උපකාරී වූහ. ධාරයිංසු යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේම ය.
තිණසන්‍ථර දායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
තුන්වැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ යනු මෙහි ඛණ්ඩං යනු බදාම කඩන ලද බැවින් සුන්බුන් වූ ස්ථානය ඵුල්ල යනු බදාම? කැඩුණු තැන කණ්ණාකිත හතුවැනි මල් පිපීම. ඛණ්ඩ ද ඵුල්ල ද ඛණ්ඩඵුල්ල වේ. කටුකොහොල් ප්‍රතිසංස්කරණය යනු නැවත නැවත තහවුරු කිරීම යනු ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. මේ තෙරුන් වහන්සේ පුණ්‍ය සම්භාර පුරන කල්හි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයෙහි සුන්බුන් තන්හි හුණුපිඬක් ආලේපකොට තහවුරු කිරීම ඛණ්ඩඵුල්ල පටිසංඛරණ නමි. ඒ නිසා උන්වහන්සේ ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේයයි ප්‍රකට වූහ. තුන්වැනියි.
ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සතරවැනි තෙරුන් වහන්සේගේ අපදානයෙහි රඤ්ඤො බද්ධචරො ආසිං යනු රජුගේ පරිවාරකයෙක් ද වැඩකරුවෙක් ද වීමි යන අර්ථයි.
ජලජුත්තම නාමිනො යනු ජලෙ ජලයෙහි උපන් ජලජ. ඒ කුමක්ද පද්මයයි. පද්මයට සමාන නමක් ඇති බැවින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ යන අර්ථයි. උත්තම වූ පදුම නම් භාග්‍යවතුන් වහන්සේගේ හෝ අර්ථයි. සිව්වැන්න.
පස්වැන්න නො ගැඹුරු ය.
සයවැන්නෙහි නගරෙ ද්වාරවතියා යනු මහදොරින් ද ජනෙල් කවුළුවලින් ද වැටපවුරු අගුල් ගෝපුර මඩදිය අගලින් ද යුතු නගර යනුයි ද්වාරවතී නගරය නමි. දොර ද වැට ද ප්‍රධානකොට නගරය උපලක්‍ෂිත වූ බැවින් ද්වාරවතී නගරයයි ව්‍යවහාර කරති. ද්වාරවතී නගරයෙහි යනු නගරයයි කියන ලදි. මාලාවච්ඡො මට මල් උයනක් අහූ විය යන අර්ථයි.
තෙ කිසලයා යන ඒ අසෝක දලු. සයවැනියි.
සවැනි, සත්වැනි, අටවැනි, නවවැනි අපදාන නොගැඹුරු අරුත් ඇත්තේමය. දසවැන්නෙහිද අපූර්වයක් නැත.
විසිවැනි වර්ග වර්ණනාවයි.
21-23. කණිකාරපුප්ඵිය වර්‍ගය
මින්පසුව සියලු තන්හි ගැඹුරු පද වර්ණනාව කරන්නෙමි. විසිඑක් වැනි විසිදෙවැනි විසිතුන්වැනි වර්ගයෙහි ද මනාසේ කරන ලද පිනින් ලද නම් ඇත්තා වූ කරන ලද පින් ඇත්තවුන් ද සියලු තෙරුන් වහන්සේලාගේ විවිධත්වය ද, විවරණ දෙන්නා වූ බුදුවරුන්ගේ නම් ද, වාසය කරන ලද නගර ද යට කියන ලද පරිද්දෙන් සියල්ල නොගැඹුරු ය. අපදාන ගාථාවන්හි අර්ථය ද නයානුසාරයෙන් දතයුතුය.
24. උදකාසන වර්‍ගය
[missing trans]
තුන්වැනි අපදානයෙහි අරුණවතියා නගරෙ යනු හාත්පසින් ආලෝක කරමින් උදෙති උඩට නැගේනුයි අරුණ නමි. එය එහි දක්නට ලැබේනුයි අරුණවතී. ඒ නගරය එලිය කරමින් සූර්යයා උඩට නැගේ යන අර්ථයි. සෙසු නගරවලද හිරු උදාව දක්නට ලැබෙද්දීත් විශේෂ වචනයකි. සියලු සිව්පාවුන්ට පොළොවෙහි වසානුයි පොළොවෙහි නිදිනුයි මහිසයයි කියන්නාක් මෙන් රූඪි වශයෙන් කියන ලදැයි දතයුතුය. නැතහොත් ප්‍රාකාර ප්‍රාසාද මන්දිර ආදියෙහි රන්රිදී මිණිමුතු ආදී සත්රුවන් පැහැයෙන් අරුණ නැගෙන්නාක් මෙන් ප්‍රභා ඇත්තී අරුණවතී නමි. ඒ අරුණවතී නගරයෙහි පූපිකො මම කැවුම් විකිණීමෙන් ජීවිකාව කරන්නේ වීමි යන අර්ථයි.
සිව්වැනි අපදානයෙහි තීවරායං පුරෙ රම්මෙ යනු පවුරු තුනකින් පරිවාරිතා වටකරන ලද්දේදනුයි තීවරා. කෑම්බීම් උපභෝග වස්ත්‍රාභරණ ආදී නැටුම් ගැයුම් ආදියෙන් රමණීය වේනුයි රම්මං. ඒ තීවරා පුරෙ රම්‍ය නගරයෙහි මම කුළුපොත්තෙක් වීමි යනු සම්බන්ධයි.