175. සීහාසනදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිර්වාණය අවබෝධ කිරීම පිණිස කරන ලද පුණ්‍ය ප්‍රත්‍ය ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා තෙරුවන්හි පැහැදුණේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සත්රුවනින් කැටයම් කළ සිංහාසනයක් කරවා බෝධිවෘක්‍ෂය පිදුවේය. බොහෝ මල්ගඳ දුමින් ද පිදුවේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතන්හි පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි වසන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ ඥාතිවර්ගයා හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් වී පෙර රැස්කළ පුණ්‍ය සම්භාරය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. එහි සීහාසන මදාසිං යනු සිංහරූප රන්රුවනින් කැටයම් කළ ආසනය සීහාසන නමි. සිංහයකුගේ හෝ ආශ්චර්යවත් භාග්‍යවතුන් වහන්සේගේ වැඩහිඳීමට සුදුසු වූ හෝ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ආසන නුයි සීහාසන වේ. එය මම දුනිමි. බෝධිවෘක්‍ෂය පිදුවෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
176. මග්ගදත්තික ථේර අපදාන වර්ණනාව
අනොමදස්සී භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදත්තික තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුවද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා වසන්නේ අනොමදස්සි භාග්‍යතුන් වහන්සේ අහසෙහි සක්මන් කරනුද පාඔසවනවිට සක්මන් කරන ස්ථානයෙහි මල් විසිරෙන අසිරියද දැක පහන් සිතැත්තේ අහසෙහි මල් ඔසවා තැබීය. ඒවා වියනක්ව සිටියේය.
හේ ඒ පිනින් සුගතීන්හිම සැරිසරන්නේ සැමතන්හි පූජිත වුයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ක්‍රමයෙන් යෞවනයට පැමිණ සැදැහැ ඇත්තේ පැවිදි ව පිනින් යුක්ත වූයේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේ සක්මන පුදන ලද බැවින් මග්ගදත්තික තෙරුන් වහන්සේ යයි ප්‍රකට වීය. උන්වහන්සේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. දිට්ඨධම්ම සුබත්‍ථාය යනු මේ ආත්මභාවයෙහි ශරීරගත සුබ ආදී සැප නිසා යන අර්ථයි. අබ්භොකාසම්හි චඞ්කමිං යනු අභ්‍යවකාශස්ථ චඞ්කමිං පාතැබීම, පද සංචාරය කෙළෙමි යන අර්ථයි.
උද්ධටෙපාදෙ පුප්ඵානි යනු සක්මන් කරන්නහු පාදයන් එසවූ විට නෙළුම් උපුල් ආදී මල් පැනනැගී සක්මනෙහි විසිරිණ යන අර්ථයි. සොහං මුද්ධනි තිට්ඨරෙ යනු බුදුරජාණන් වහන්සේගේ මුද්ධනි හිසෙහි බබළමින් ඒවා සිටී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
මග්ගදත්තික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
177. ඒකදීපිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුව ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ සල්ලමහා බෝධියෙහි එක් පහනක් පිදීය. ස්ථිරකොට නිතර එක් පහනක් පිදීම පිණිස තෙල්වැට පිහිටවී ය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි බැබළෙන්නේ ප්‍රසන්න ඇස් ඇත්තේ උභය සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ පැවිදිවිය. පැවිදි ව නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේ පහන් පූජාවෙන් ලත් විශේෂ අධිගම ඇති බැවින් එකදීපිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,
පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පදුමුත්තරස්ස මුනිනො’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
එකදීපිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
178. මණිපූජක ථේර අපදාන වර්ණනාව
ඔරෙන හිමවන්තස්ස යනාදී වශයෙන් ආයුෂ්මත් මණිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ගෘහවාසය තබා එහි ආදීනව දැක ගෘහවාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතට මෙපිට එක් නදියක් අසබඩ පන්සලක් කරවා වසන්නේ විවේක කැමැත්ත නිසා ද ඔහුට අනුකම්පාව නිසා ද එහි වැඩම කළ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මැණික් පුටුවක් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වර්ධනය වනු සඳහා එහි වැඩහුන් සේක. හේ බෙහෙවින් පැහැදුණේ නිර්වාණ අධිගමය පිණිස ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි පූජිත වූයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති කුලයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.