171. කුමුදමාලිය ථේර අපදාන වර්ණනාව
පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පව්ව සමීපයෙහි මහා ජාතස්සරය ආසන්නයෙහි රාක්‍ෂසයෙක් ව ඉපිද අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ සිටිනු දැක පහන් සිතැත්තේ කුමුදමල් නෙළා භාග්‍යවතුන් වහන්සේ පිදීය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි සේක.
හේ ඒ පිනින් එයින් චුතව දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ පැවිදිව වෑයම් කරන්නේ බ්‍රහ්මචර්යය අවසන්කොට ඇති රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීය. තත්‍ථජො රක්ඛසො ආසිං යනු ඒ ජාතස්සර සමීපයෙහි ජාතො උපන්නේ රක්ඛසො අනුන්ගේ ලේ මස් කන්නා වූ නිර්දය වූ ඝෝර වූ රූපයක් ඇති භයානක ස්වභාවයක් ඇති මහාබල ඇති මහා ශක්තියක් ඇති කර්කශ වූ යකෙක් ආසිං වීමි යන අර්ථයි.
කුමුද පුප්ඵකෙ තත්‍ථ යනු ඒ මහා විලෙහි හිරුරැස් නැති කල්හි සවස් කාලයෙහි. මුකුලිතං පිළිකුල් අයුරින් නිප්ඵභං අවර්ණ වේනුයි කුමුදයයි ලද නම් ඇති මල පුප්ඵතෙ විකසිත වේයයි යන අර්ථයි. චක්කමත්තානි ජායරෙ යනු ඒ මල් රියසක් පමණ වී හටගනී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
172. නිස්සෙණිදායක ථේර අපදාන වර්ණනාව
කොණ්ඩඤ්ඤස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් නිස්සෙණිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතු වූ පින් රැස් කරන්නේ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපදී සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රාසාදයට නැගීම පිණිස ලී අරටුවෙන් ඉණිමගක් කොට ඔසවා තැබීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වඩනු පිණිස බලා සිටියදීම පහට උඩට නැගි සේක. හේ අතිශයින් පැහැදුණේ ඒ ප්‍රීති සොම්නසින්ම කලුරියකොට දෙව්ලොව ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර ඉපදෙන්නේ ඉණිමං දන්දීමේ හේතුවෙන් උසස් කුලයක උපන්නේ මිනිස් සුව අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘කොණ්ඩඤ්ඤස්ස භගවතො’ යනාදිය කීහ. එහි කොණ්ඩඤ්ඤස්ස යනු පිළිකුල් ව ඩෙති පවතීනුයි කොණ්ඩො ලාමක සත්ත්වයා. ලාමක සත්ත්වයාගෙන් අන්‍ය වූයේ කොණ්ඩඤ්ඤ නමි. අලාමක උත්තම පුරුෂයා යන අර්ථයි. නැතහොත් බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උපන්නේ කොණ්ඩඤ්ඤ යයි ගෝත්‍ර වශයෙන් උන්වහන්සේගේ නමයි. ඒ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ සෙස්ස ප්‍රකටමය.
නිස්සෙණිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
173. රත්තිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
මිගලුද්දොපුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් රත්තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වැදි කුලයෙහි ඉපිද මිගදාය අරණ්‍යයෙහි හැසිරෙයි. එකල්හි ඔහුට කරුණාවෙන් අරණ්‍යයෙහි හැසිරෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ පිපුණු රත්තික නමැති මලක් ද කුටජ මලක් ද නටුව සමග නෙළා සොම්නසින් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි සේක.
හේ ඒ පිනින්ම දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා කාමයන්හි ආදීනව දැක පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්වූයේ තමාගේ පූර්ව කර්මය සිහිකොට වැදි කුලයෙහි උපන් මා විසින් කුන ලද කුසලය සුන්දරයයි හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘මිගලුද්දො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි මුවන්ගේ ලුද්දො සාහසිකයාද මාරයාදනුයි මිගලුද්දො නමි. මුවන් කෙරෙහි හෝ ලුද්දො ලෝභී වූයේ මිගලුද්දො. වැද්දෙක් ආසිං පෙර වීමි යන අර්ථයි.
රත්තිකං පුප්ඵිතං දිස්වා යනු නෙළුම්මල් ආදි නොයෙක් මල් සූර්ය රශ්මිය ස්පර්ශ කිරීමෙන් දිවා කාලයෙහි පිපෙයි. රාත්‍රියෙහි මුකුලිත වෙයි. දෑසමන් මල්ලිකා ආදී නොයෙක් මල් රාත්‍රියෙහි පිපෙයි දවල් කාලයෙහි නොවේ. ඒ නිසා රාත්‍රියෙහි පිපෙන බැවින් රෑ මල් නමින් යුතු නොයෙක් සුවඳ මල් ද කුටජ මල් ද ගෙන පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
රත්තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
174. උදපානදායක ථේර අපදාන වර්ණනාව
විපස්සිනො භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි කරන ලද පින් රැස් කිරීම් ඇත්තේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ මා විසින් පැන් දන් දීමක් කළ යුතුය. එයද නිරතුරු කොට පැවැත්වීමට වටී යයි සිතා එක් ළිඳක් කණවා ජලය සහිත කාලයෙහි උළු ගොඩගසා එහි උඩට ආ ජලයෙන් පිරුණු ඒ ළිඳ විපස්සි භාග්‍යවතුන් වහන්සේට පවරා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් දන්දීම දැක්වෙන අනුමෝදනාවක් කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් තන්හි පොකුණුළිං පිය පුතු දෑ ආදියෙන් යුක්ත වූයේ සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත් ව සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.