166. සප්පිදායක ථේර අපදාන වර්ණනාව
ඵස්සො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා විසින් පිරිවරනු ලදුව වීදියෙහි ඇවිදිනසේක් ඒ උපාසකයාගේ ගෙදරට වැඩි සේක. ඉක්බිති ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැඳ පාත්‍රය පුරා ගිතෙල්ද තෙල්ද දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින්ම දිවි ඇති තෙක් සිට එයින් චුතවූයේ ඒ පිනින් දෙව්ලොව ඉපිද එහි දිවසුව අනුභවකොට මිනිසුන් අතර ද ඉපිද උපනුපන් භවයෙහි ගිතෙල් තෙල් මීපැණි හකුරු ආදී මිහිරි අහර සුව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදි ව වත් සම්පන්න වූයේ නොබෝ කලකින් රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඵුස්සො නාම නාමෙන’ යනාදිය කීහ. එහි ඵුස්සො යනු පුස නැකැත් යෝගයෙන් උපන් බැවින් මව්පියන් විසින් තබන ලද නාමයක් ඇති හෙයින් ඵුස්සො නමි. නැතහොත් නිර්වාණය ඵුසි දුටුවේය. සාක්ෂාත් කෙළේනුයි ඵුස්සො නමි. නැතහොත් සමත්‍රිංශත් පාරමිතා, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හා සියලු ත්‍රිපිටක සහිත පර්යාප්ති ධර්මයන් ඵුසි දුටුවේනුයි දැනගත්තේනුයි ඵුස්සො නමි. භගවා භාග්‍ය ඇත්තේනුයි භගවා නමි. ආහුතී යනු පූජා සත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාර පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. මහජනයා නිවමින් වීර වූ ඵුස්ස නම් භාග්‍යවතුන් වහන්සේ වීදියෙහි වඩනා සේක. ඉක්බිති එකල්හි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ යනු සම්බන්ධයි. සෙස්ස ප්‍රකට ම ය.
සප්පිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
167. යූථිකාපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
චන්දභාගා නදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් යුථිකාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු නොයෙක් සියගණන් ජාතිවල නිවනට හේතුවන පින් රැස්කරන්නාහු ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේම කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූවාහු චන්දභාගා නදී තෙර කිසියම් දේවක්රියාවකින් යටගං බලා හැසිරෙන්නාහු පැන් සනහනු කැමති ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ගිනිකඳක් මෙන් දිදුලනු දැක හටගත් සොම්නස් ඇත්තාහු එහි හටගත් සමන්මලක් නෙළා භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.
හේ එහි ඒ පින් කොටසින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව වත්පිළිවෙතින් සසුන බබුළුවන්නේ නොබෝ කලකින්ම රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘චන්දභාගා නදී තීරෙ’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
යුථිකාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
168. දුස්සදායක ථේර අපදාන වර්ණනාව
තීවරායං පුරෙ රම්මෙ යනාදි වශයෙන් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රජ කුලයෙහි ඉපිද වැඩිවිය පත් කල්හි යුවරජ බවට පත්ව ප්‍රකට වූවාහු මෙසේ ජනපදයක් ලැබ එහි අධිපති වී සියලු ජනපදවාසීන්ට දාන ප්‍රියවචන අර්ථචර්යා සමානාත්මතා සංඛයාත සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කෙරෙත්. එසමයෙහි සිද්ධත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ එ් ජනපදයට සපැමිණි සේක. ඉක්බිති ඒ යුවරජ තෙමේ පණිවුඩයක් ලැබ එහිදී සියුම් වස්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදීය. භාග්‍යවතුන් වහන්සේ එය අතින් පිරිමැද අහසට පැන නැගි සේක. ඒ වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අනුවම ගියේය. ඉක්බිති ඒ යුවරජ තෙමේ ඒ අසිරිය දැක අතිශයින් පැහැදුණේ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පැමිණි පැමිණි තැන සියලු ජනයෝ ඒ අසිරිය දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තෝ ඇඳිලිබැඳ සිටියාහුය. භාග්‍යවතුන් වහන්සේ විහාරයටම වැඩි සේක. යුවරජ තෙමේ ඒ කුසල කර්මයෙන්ම එයින් චුතවූයේ දෙව්ලොව ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපදී දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා තෙරුවන්හි පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.