164. දෙසපූජක ථේර අපදාන වර්ණනාව
අත්‍ථදස්සිතු භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තාහු රත්නත්‍රය මාමක වූවාහු එකල්හි අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද සේක් චන්ද්‍රයා මෙන් ද සූර්යයා මෙන්ද අහසින් වඩනා සේක. ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ දිසාභාගය සුවඳමල් ආදියෙන් පූජා කරන්නේ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.
හේ ඒ පිනින් දෙව්ලොව ඉපිද ස්වර්ග සම්පත් අනුභවකොට මිනිසුන් අතර ද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදකාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ උපභෝග පරිභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදි ව වත් සහිත වූයේ නොබෝ කලකින් රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අත්‍ථදස්සිතු භගවා’ යනාදිය කීය. එය යට කියන ලද අරුත් ඇත්තේමය. අනිලඤ්ජසෙ යනු මග්ග පන්ථ පථ අඤ්ජස වටුමායන යන පර්යායයෙන් කියන ලද බැවින් අනිලඤ්ජස නමි. ඒ අනිලඤ්ජසෙ අහසෙහි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
165. කණිකාරච්ඡදනිය ථේර අපදාන වර්ණනාව
වෙස්සභු නාම සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් කණිකාර ඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ විය. එසමයෙහි වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් මහවනයට පිවිස වැඩහුන් සේක. ඉක්බිති ඒ උපාසකයා ද කිසියම් කටයුත්තක් සඳහා එහි ගොස් ගිනිකඳක් මෙන් බබලමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කිණිහිරි මලක් නෙළා ඡත්‍රයක් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන වියනක් තනා පූජා කළේය. එය භාග්‍යවතුන් වහන්සේගේ අනුහසින් සත්දිනක් නොමැළ වී එහි තිබිණ. භාග්‍යවතුන් වහන්සේද පලසමවතට සහ නිරෝධ සමාපත්තියට සමවැද වාසය කළ සේක. හේ ඒ අසිරිය දැක හටගත් සොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියෙන් නැගිට විහාරයටම වැඩම කළ සේක.
හේ ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත් ව සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව වත්පිළිවෙතින් බුදුසසුන බබුළුවන්නේ නොබෝ කලකින්ම රහත් වී තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘වෙස්සභුනාම සම්බුද්ධො’ යනාදිය කීය. එහි වෙස්සභු යනු වෛශ්‍ය ජනයා භූනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු නමි. නැතහොත් වෙස්සෙ පස්මරුන් අභිභුනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු නමි. තමාම සත්‍යයන් අවබෝධ කරගත්තේනුයි සම්බුද්ධො නම් නමින් වෙස්සභු නම් සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. දිවාවිහාරාය මුනී යනු දිබ්බති බබුළුවයි, ඒ ඒ වස්තුව ප්‍රකට කෙරේනුයි දිවා නමි. සූර්යෝදයෙහි පටන් අස්තයට යාම තෙක් පිරිසිඳ කාලයයි, විහරණං ඉරියව්වලින් පැවැත්ම විහාර නමි. දිවා කාලයෙහි විහරණය දිවා විහාරයයි. ඒ සතර ඉරියව්වෙන් ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ නරාසභ වූ බුද්ධ මුනිතුමා දිවා විහාරය පිණිස ඔගාහිත්‍වා පිවිස යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
කණිකාරඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
166. සප්පිදායක ථේර අපදාන වර්ණනාව
ඵස්සො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරනු ලදුව වීදියෙහි ඇවිදිනසේක් ඒ උපාසකයාගේ ගෙදරට වැඩි සේක. ඉක්බිති ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැඳ පාත්‍රය පුරා ගිතෙල්ද තෙල්ද දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින්ම දිවි ඇති තෙක් සිට එයින් චුතවූයේ ඒ පිනින් දෙව්ලොව ඉපිද එහි දිවසුව අනුභවකොට මිනිසුන් අතර ද ඉපිද උපනුපන් භවයෙහි ගිතෙල් තෙල් මීපැණි හකුරු ආදී මිහිරි අහර සුව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදි ව වත් සම්පන්න වූයේ නොබෝ කලකින් රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඵුස්සො නාම නාමෙන’ යනාදිය කීහ. එහි ඵුස්සො යනු පුස නැකැත් යෝගයෙන් උපන් බැවින් මව්පියන් විසින් තබන ලද නාමයක් ඇති හෙයින් ඵුස්සො නමි. නැතහොත් නිර්වාණය ඵුසි දුටුවේය. සාක්‍ෂාත් කෙළේනුයි ඵුස්සො නමි. නැතහොත් සමත්‍රිංශත් පාරමිතා, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම හා සියලු ත්‍රිපිටක සහිත පර්යාප්ති ධර්මයන් ඵුසි දුටුවේනුයි දැනගත්තේනුයි ඵුස්සො නමි. භගවා භාග්‍ය ඇත්තේනුයි භගවා නමි. ආහුතී යනු පූජා සත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාර පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. මහජනයා නිවමින් වීර වූ ඵුස්ස නම් භාග්‍යවතුන් වහන්සේ වීදියෙහි වඩනා සේක. ඉක්බිති එකල්හි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ යනු සම්බන්ධයි. සෙස්ස ප්‍රකට ම ය.