158. නාගපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවච්ඡො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව වේදත්රයාදී ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදැක හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්යාන සමාපත්ති සුඛයෙන් දවස් ගෙවූහ. එසමයෙහි පදුමුත්තර නම් භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩි සේක. ඒ තවුසා ඒ භාග්යවතුන් වහන්සේ දැක ලක්ෂණ ශාස්ත්රයෙහි දක්ෂ බැවින් භාග්යවතුන් වහන්සේගේ ලක්ෂණ රූප සම්පත් දැක පැහැදුණේ වැඳ ඇඳිලි බැඳ සිටියේය. අහසින් නොබට බැවින් පූජාසත්කාර නොකරන ලද කල්හිම අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ශිෂ්යයන් සහිතව නාමල් කඩා ඒ මලින් භාග්යවතුන් වහන්සේ වැඩි දිශාභාගයෙහි මාර්ගයට පූජා කළේය.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කරන්නේ සියලු තන්හි පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැවත් වූයේ පැවිදිව වත්පිළිවෙතින් සසුන බබලවන්නේ නොබෝ කලකින්ම රහත්වී කුමක කුසල කර්මයකින් මා විසින් මේ ලෝකෝත්තර සම්පත්තිය ලබන ලද්දේදැයි අතීත කර්මය සිහිකරන්නේ පූර්ව කර්මය ප්රත්යක්ෂ වශයෙන් දැන හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුවච්ඡො නාම නාමෙන’ යනාදිය කීය. එහි වච්ඡ ගෝත්රයෙහි උපන් බැවින් වච්ඡගොත්ත නමි. සුන්දර වූයේද වච්ඡවූයේද සුවච්ඡ නම් බ්රාහ්මණයා මන්තපාරගු වේදත්රය ආදී සකල මන්ත්ර ශාස්ත්රයෙහි කෙළවරට පත්වූයේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
නාගපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
159. පුන්නාගපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
කානනං වන මොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වැදිකුලයෙහි ඉපිද මහ වනයට පිවිසියේ එහි මැනවින් පිපුණු දොඹමලක් දැක හේතුසම්පත් ඇති බැවින් බුද්ධාලම්බන ප්රීතිය නිසා භාග්යවතුන් වහන්සේ සිහිකොට ඒ මල්කිනිති නෙළා වැලිවලින් චෛත්යයක් කොට පූජා කළේය.
හේ ඒ පිනින් කල්ප අනූදෙකක් නිරන්තරයෙන් දෙව්මිනිස් සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව පෙර වාසනා බලයෙන් සසුනෙහි පැහැදුණේ පැවිදි ව වෑයම් කරන්නේ නොබෝ කලකින් ම රහත් වී පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘කානනං වන මොග්ගය්හ’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
160. කුමුදදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහ්නසේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත අසල මහා ජාතස්සරයක කකුධ නම් පක්ෂියෙක් ව ඉපිද කිසියම් අකුසලයකින් පක්ෂියකු සමාන වුවත් පෙර කරන ලද පිනින් බුද්ධිමත් වූවාහු පිනෙහි දක්ෂ වූවාහු සිල්වත් වූවාහු පණැති ගොදුරින් වෙන්වූහ. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ අහසින් වැඩ ඔහුගේ සමීපයේ සක්මන් කරන සේක. ඉක්බිති ඒ පක්ෂියා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කුමුදමලක් ඩැහැගෙන භාග්යවතුන් වහන්සේගේ පාමුල පූජා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ සොම්නස උපදවනු පිණිස පිළිගෙන අනුමෝදනාව කළ සේක.