156. කදම්බපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් කදම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සම්මා සම්බුදුවරුන්ගෙන් හිස්වූ ලෝකයෙහි එක්තරා කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි වෙසෙන්නේ එහි ආදීනව දැක ගෘහවාසය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමවත සමීපයෙහි කුක්කුට නම් පර්වතයෙහි ආශ්‍රමයක් කොට වාසය කළේය. හේ එහි පසේබුදුවරුන් සත්නමක් දැක පහන් සිතැත්තේ පිපුණු කොලොම් මලක් කඩා පසේ බුදුවරුන් පිදුවේය. උන්වහන්සේලා ද ‘ඉච්ඡිතංපෙත්‍ථිතං’ ආදී අනුමෝදනාව කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි වී නොබෝ කලකින්ම රහත්වී පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදූරෙ’ යනාදිය කීය. එය කියන ලද අරුත් ඇත්තේ ම ය. කුක්කුටො නාම පබ්බතො යනු එහි දෙපැත්තෙහිම කුකුල් කරමලයක ආකාරයෙන් පව්කුළු පෙනෙන බැවින් කුක්කුට යයි ප්‍රසිද්ධියට ගියේ ක්‍රමයෙන් හරස්ව පිහිටානුයි පබ්බතො. තම්හි පබ්බත පාදම්හි යනු ඒ පර්වතය සමීපයෙහි. සත්තබුද්ධාවසන්ති යනු පසේ බුදුවරුන් සත්නමක් ඒ කුක්කුට පර්වත පාදයෙහි පන්සලෙහි වසත් යන අර්ථයි.
දීපරාජංව උග්ගතං යනු දීපයන්ට රජනුයි දීපරාජා. සියලු පහන්වලට දැල්වෙන තාරකාවලට රජවූ චන්ද්‍රයා යන අර්ථයි. සියලු ජම්බුද්වීපය, පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු සංඛ්‍යාත වූ සතර දිවයින්වලද ආලෝකය පතුරුවන හෙයින් චන්ද්‍රයා දීපරාජ යයි කියනු ලැබේ. ඒ අහසෙහි නැගුණු චන්‍ද්‍රයා මෙන් සුපුප්ඵිතං පිපුණු කොලොම් ගසක් දැක එයින් මල් නෙලා දෝතින් පග්ගය්හ ගෙන සත් පසේ බුදුවරුන් වෙත සමොකිරිං මනාසේ විසුරුවෙමි. ආදරයෙන් පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
කදම්බපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
157. තිණසූලක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්ස අවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිණසුළක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පින් රැස්කිරීම් ඇත්තාහු උපනුපන් භවයෙහි කුසල් රැස්කරන්නාහු සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ගෘහවාසය තබා එහි දොස් දැක එය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව වසන්නාහු හිමවත සමීපයෙහි භූතගණ නම් පර්වතයෙහි වසන්නා වූ හුදෙකලාව විවේකය විඳින්නා වූ සිඛී සම්බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතැත්තාහු තිණසුළ මල් ගෙන පාමුල පිදූහ. බුදුරජාණන් වහන්සේද ඔහුට අනුමෝදනාව කළ සේක.
හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව සසුනෙහි පැහැදුණේ පැවිදිව උපනිශ්‍රය සම්පත් ඇති බැවින් නොබෝ කලකින්ම රහත්බවට පැමිණ පූර්වකර්මය සිහිකොට සොම්නසට පැමිණියේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘හිමවන්තස්ස අවිදුරෙ’ යනාදිය කීය. භුතගණොනාම පබ්බතො යනු භූතගණානං දෙවියන්ට හා යකුන්ට නිවාස වූ බැවින් භවනයක් සමාන වූ බැවින්ද නැගී සිටිනා බැවින් පවත්නා බැවින්ද භූත ගණ නම් පර්වතය. එහි එකො දෙවැනියකු නැතිව. ජිනො යනු මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ. වසතෙ දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඊර්‍යාපථ විහාරයෙන් වාසය කරති යන අර්ථයි.
එකූන සත සහස්ස කප්පං න විනිපාතිකො යනු ඒ තිණසුළ මල් පූජා කිරීමේ විපාකයක් වශයෙන් නිරතුරුව එකක් අඩු සියදහසක් කල්පයන් විනාශ නොකරන්නේ සිව් උපායෙන් විනිර්මුක්ත වූයේ සම්පත්ති භවයට පැමිණියේ විය යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
තිණසුළක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
158. නාගපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුවච්ඡො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව වේදත්‍රයාදී ස්වකීය ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණ එහි හරයක් නොදැක හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන සමාපත්ති සුඛයෙන් දවස් ගෙවූහ. එසමයෙහි පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස එහි වැඩි සේක. ඒ තවුසා ඒ භාග්‍යවතුන් වහන්සේ දැක ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි දක්‍ෂ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ලක්‍ෂණ රූප සම්පත් දැක පැහැදුණේ වැඳ ඇඳිලි බැඳ සිටියේය. අහසින් නොබට බැවින් පූජාසත්කාර නොකරන ලද කල්හිම අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ශිෂ්‍යයන් සහිතව නාමල් කඩා ඒ මලින් භාග්‍යවතුන් වහන්සේ වැඩි දිශාභාගයෙහි මාර්ගයට පූජා කළේය.